විජයදාසට තර්ජනය කර උසාවියට අපහාස කළ ටියුෂන් සර්ට සිර දඬුවම් – වසර 5 කට අත්හිටුවයි

324

ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ජනාත්මකව කතාකර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ අමතර පන්ති ගුරුවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05 වැනිදා) වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව ජී. රොහාන් කෝදාගොඩ නැමැති එම අමතර පන්ති ගුරුවරයාට රුපියල් ලක්‍ෂ තුනක දඩයක් ද නියම කළ ප්‍රීති පත්මන් සූරසේන, මහින්ද සමයවර්ධන හා කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඬුල්ල එම දඩය නොගෙවන්නේනම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් ලබාදීමට ද නියෝග කළහ.

ඉදිරි දිනවල දහම් පාසල් පැවැත්වෙන කාලය අතරතුරදී අමතර පන්ති පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණි. එම නඩුවට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස සම්බන්ධවී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමතර පන්ති ගුරුවරුන් පිරිසක් කළ අයැදුම්පතක් කැඳවූ අවස්ථාවේදී පෙරකී උපකාරක පන්ති ගුරුවරයා විජයදාස රාජපක්ෂ මහතාට ඒ සම්බන්ධයෙන් දෝෂාරෝපණ කරමින් හා තර්ජනාත්මකව අදහස් දක්වා තිබිණි. විවෘත අධිකරණය හමුවේදී සිදු කළ එකී ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතිබවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණනයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන ලෙසට නීතිපතිවරයාට නියෝග කර තිබිණි.

එකී චෝදනාවට වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබූ වගඋත්තරකාර ගුරුවරයා 05 වැනිදා විවෘත අධිකරණය හමුවේදී නඩුව කැඳවූ විට විජයදාස රාජපක්ෂ මහතාගෙන් මෙන්ම අධිකරණයෙන් ද සමාව අයැද තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment