විජයදාස රාජපක්‍ෂ වරප්‍රසාද ගැන කතා කරයි

236

මා ගැන පත්තරේ දාලා ටීවී එකෙන් විවේචනය කළා

මාධ්‍යවේදීන් නිසා අවංක මන්ත්‍රී කෙනෙකුගේ දරුවෙකුටවත් පාසල් යන්න බෑ
– තාත්තා හොරාට කැන්ටිමෙන් කනවාද අහනවා

මාධ්‍යවේදීන්ට අරක්කු බෝතල් දෙකක් දුන්නාම
ඕන කෙනෙකුට විරුද්ධව ප්‍රවෘත්ති දාගන්න පුළුවන්

225 ම එකම මල්ලට දාලා උදේට පත්තර මල්ලිලා කියවනවා – විජයදාස පාර්ලිමේන්තුවේ දී කියයි

තමන් පිළිබඳ ප්‍රවෘත්තියක් පුවත්පතක පළ කර ඒ පිළිබඳව රූපවාහිනියෙන් විවේචනාත්මක ලෙස අදහස් ප්‍රකාශ කිරීමෙන් තම මන්ත්‍රී වරප්‍රසාද කඩ වූ බව කියමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි වරප්‍රසාද කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවූ බව කියමින් යෝජනා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කරනවා. මේ කමිටුවේ සභාපතිවරයා ලෙස පසුගිය දවස්වල මාධ්‍යකරුවන් කිහිපදෙනකු මේ වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවනු ලැබුවා. මීට දින තුනකට පෙර විද්‍යුත් මාධ්‍යයෙන් උදේ පත්තර කියවන මාධ්‍යවේදියෙක් ඒ පත්තරයේ තිබෙන කුඩා කොටසක් කියවලා ඒ පිළිබඳ ලොකු විග්‍රහයක් කරනවා පැය ගණන්. මේ පාර්ලිමේන්තුවේ 225 ම හොරු, තක්කඩි කියලා මන්ත්‍රීවරුන් පිළිබඳව විශාල ක්‍රෝධයක් ඇති කරනවා. මේ සභාවේ මන්ත්‍රීවරුන් දහයක් පහළොවක් එහෙම හැසිරෙන එක අපි පිළි ගන්නවා. නමුත් මේ 225 ම එහෙමයි කියලා එකම මල්ලකට දාලා උදේට පත්තර මල්ලිලා කියවගෙන කියවගෙන යනවා.

මේ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාව වැරදියි කියලා විපක්ෂයත් පිළිගන්නවා. මේ මාධ්‍යවේදීන් නිසා පාර්ලිමේන්තුවේ අවංක මන්ත්‍රීවරයෙක්ගේ දරුවෙක්ට පාසල් යන්න බෑ. තාත්තා හොරෙක්ද තාත්තා හොරාට කැන්ටිමෙන් කනවා නේද කියලා අහනවා. මේ වගේ තත්ත්වයක් මේ රටේ ඇතිකරලා තියෙන්නේ ජනමාධ්‍යවේදීන්. මාධ්‍යවේදීන් ගැනත් අපි දන්නවා. මාධ්‍යවේදීන්ටත් අරක්කු බෝතල් දෙකක් ගෙනත් දුන්නහම මේ පාර්ලිමේන්තුවේ හෝ වෙන තැනක හරි ඕනෑම කෙනෙකුට විරුද්ධව මේ ප්‍රවෘත්තිය පළ කරන්න කිව්වහම මාධ්‍යවේදියෝ පළ කරනවා.

මම පුවත්පත් මණ්ඩලයේ වසර පහක් වැඩ කළා සභාපති වෙලා. මම ලෝක පුවත්පත් මණ්ඩලයේ වසර හතරක් උප සභාපති වෙලා වැඩ කළා. ඒ නිසා මාධ්‍යවේදීන් ගැන අපි දන්නවා. සියලුම මාධ්‍යවේදීන් නරකයි කියලා හංවඩු ගහලා අපි කියන්නේ නෑ. ඒ අපි මේ රටේ මාධ්‍යවේදීන්ට ආදරේ නිසා නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා පිළිගන්න නිසායි.

මේ ප්‍රවෘත්තිය පළ කළ මාධ්‍ය ජාලයටම අයිති පුවත්පතක් තිබෙනවා. අපේ රටේ මාධ්‍ය අයිතිකරුවන් හිතන් ඉන්නේ ඒගොල්ලන්ට ඕනෑ ජනාධිපතිවරු ගේනවා කියලා. ඒ ගොල්ලන්ගේ ජාවාරම් ටික කර ගන්නවා. බිස්නස් සාර්ථක කර ගන්නවා. ඊට පස්සේ ඒ ජනාධිපතිව පන්නලා තමන්ට ඕන කෙනෙක්ව ගේනවා. සමහර මාධ්‍ය ආයතන හිතන් ඉන්නවා ඒ අය මේ පාර්ලිමේන්තුව වගේම රටත් පාලනය කරනවා කියලා.

‘ද මෝනින්’ පුවත්පතේ කියලා තිබෙනවා තිලිණි කියන කාන්තාවට මගේ නීතිඥවරු පෙනී සිටිනවා කියලා. ඒ නිසා මට ඇමැතිකමෙන් හෝ නඩුවෙන් ඉල්ලා අස් වෙන්නලු. මට චේන්බර් එකක් නෑ. මට කනිෂ්ඨ නීතිඥවරු ඉන්නවා. මමත් නඩු කතා කරනවා. මගේ කනිෂ්ඨ නීතිඥයෝ ගිහින් නඩු කතා කරනවා කියලා මෝනින් පුවත්පත තීන්දුවක් දෙනවා මම ඇමැතිකමෙන් අස්වෙන්න ඕනෑලු. ඒ අය කියනවා මෛත්‍රී ගුණරත්න මේක අධිකරණයේ කිව්වා කියලා. එතුමා මට කිව්වා ඔහු එහෙම කිව්වේ නෑ කියලා. මේකෙන් කරන්න හදන්නේ මම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ සභාපති ලෙස කරන කටයුත්ත නවත්වන්න.

මේ වරදට අවුරුදු 02ක සිර දඬුවමක් දෙන්න පුළුවන්. මම මේ කමිටුවේ සභාපති නිසා වෙනත් මන්ත්‍රීවරයෙක් පත් කරලා මේ ගැන විමර්ශනය කරලා මේ පිළිබඳ සාධාරණයක් ඉටුකර දෙන්න අවශ්‍ය නීතිමය පියවර ගන්න කියලා ඉල්ලනවා.

මෙහිදී විපක්ෂ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද ඇමැතිවරයාගේ මතයට පක්ෂව අදහස් පළ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment