විජේවීර – ගමනායක අද ජීවත්ව සිටියානම්….

1157

ඉල්මහ සමරුව නිමිත්තෙනි.

 ‘‘රෝහණ විජේවීර” සහ ඔහුගේ උප නායක සේම සටන් සගයා වන ‘‘උපතිස්ස ගමනායක” ඝාතනයට ලක්කොට මෙම වසරේ ඉල්මස 13 වැනි දිනට හා 14 දිනට වසර 32 කි. මෙම වසර 32 පුරාම මෙම දිනය එළඹෙත්ම ජනමාධ්‍යවල කතා ගොඩකි. පුවත්පත් පිටු පුරා ලිපි  ගොඩකි. එහෙත් තවමත් නොවිසඳුණු ගැටලූවක් අනාගතයටත් ඉතිරිව පවතියි. එනම් මේ අභීත විප්ලවවාදියන් දෙදෙනා රජයේ හමුදාවන්ට පාවාදුන්නේ කවුරුන් විසින්ද යන්නයි. මේ පිළිබඳ විධිමත් සොයා බැලීමකට පසුව පුවත්පත් ලිපි සහ කෘති කිහිපයක් මගින් කරුණු ඉදිරිපත් කළ කිහිප දෙනා අතර මමද එක් අයෙක්මි.

 දීර්ඝ ලිපි අනුචිත මුහුණු පොතට අනවශ්‍ය වැල් වටාරම් නැතිව කෙටියෙන් පවසන්නේ නම් කතාව මෙසේය. රෝහණ – ගමනායක පාවාදීම ගැන මුලින්ම ඇඟිල්ල දිගුවූයේ ජවිපෙ තුන්වැනි නායකයා සේ සැලකුණ දේශපාලන මණ්ඩල සභික ඞී. එම්. ආනන්ද ටය. පසුව හෙළිදරව් වන කරුණු අනුව දෙවනුව එය පියදාස රණසිංහ සහ එච්. බී. හේරත් යන නායකයන් දෙදෙනාටද, තුන්වෙනුව සෝමවංශ අමරසිංහ වෙතටද දිගු වූයේය.

 සෝමවංශ විසින් ජවිපෙට තිබූ ශක්තිමත්ම විදේශීය ශාඛාව වූ ලන්ඩන් ශාඛාව විසුරුවා හැර විදේශගතව සිටි සාමාජිකයන් සමග අර්බුද රැසක් ඇතිකර  ගන්නේ ලන්ඩන් ශාඛාව විසින් සොයාගත් කරුණු අනුව ඔහුට මෙම චෝදනාව ඉදිරිපත් කිරීම නිසාය. එය සෝමවංශගේ කනට වැටෙන්නේ කරුණා ගමනායකගේ කටින් පැනීමෙනි. මේ සියලූ කරුණු මගේ කෘතිවල අන්තර්ගතව ඇත. එපමණක් නොව සෝමවංශ- කරුණා සාකච්ජාවේ කැසට් පට හා ලිපි ලේඛන ද මා සතුව ඇත. (ඒ සියලූ දෙය තවදුරටත් මට අවශ්‍ය නොවන බැවින් ජවිපෙ විසින් ඉල්ලීමක් කළහොත් ලබා දීමට හැකිය.)

 ඉදින් පාවා දෙන්නා කවරෙක් වුවද අප පිළිගත යුත්තේ චිත‍්‍රාංගනී විජේවීර මහත්මියගේ ප‍්‍රකාශය බව මගේ විශ්වාසයයි. නොවැම්බර් 12 ට පෙර සතියේ සිට සෝමවංශ අමරසිංහ අතුරුදන්ව සිටි නිසා විජේවීර කලබලව සිටියේ යැයි පවසන ඇය තම සැමියා අත්අඩංගුවට ගැනීමට හමුදාව පැමිණි වාහනය ඇතුළේ පියදාස රණසිංහ හා එච්. බී. හේරත් සිටින බව විජේවීර තමාට පැවසී යැයිද පවසන්නීය. චිත‍්‍රාංගනී යනු විජේවීර ගේ බිරිඳ වුව කිසිදු දේශපාලනයක් නොතිබූ අහිංසක කාන්තාවකි. කිසිවෙකු පාවාදීමට හෝ ශුද්ධ කිරීමට ඇයට අවශ්‍ය නොවේ.

 තවමත් නොවිසඳුනු අභිරහස නම් පී. රණසිංහ මහනුවර නගරයේදීත්, එච්. බී. ගලහ, අරලිය වතු යායේදීත් අල්ලා ගත්තේ කෙසේද යන්නයි.

 එම අල්ලා ගැනීමට අදාළ පාවාදීම කළේ කවුදැයි හරියටම දන්නේ විජේවීර ග‍්‍රහණයට ගත් හමුදා නිලධාරී ජානක පෙරේරාත්, ඔහුගෙන් ප‍්‍රශ්න කළ ලකී අල්ගමත්, ඔහුට වෙඩි තැබූ රොනී ගුණසිංහ ආදීනුත් ජානක පෙරේරා සමග උලපනේට ගිය, ගාමිණි හෙට්ටිආරච්ච්චි සහ විජේවීර ප‍්‍රශ්න කළ සරත් මුණසිංහ වැනි උසස් හමුදා නිලධාරීන්ය. එම රහස තවමත් හෙළිදරව් වී නැත්තේය.

 වසර 32 කට පසුවත් මගේ හදවත ඇදුම් කන හැගීමක් තිබේ. එය මෙසේය.

 1989 නොවැම්බර් 12 දහවල කොළඹ කොටුවේ ඉස්පිරිතාල වීදියේ තිබූ රත්නා හෝටලයට ගියේ මගේ බාප්පා දැකීමටය. ‘‘ඊයේ උඹගේ නායකයා ඇල්ලූවා. දැන් මරලත් ඇති. අතන මෙතන ඇවිදින්නේ නැතුව ප‍්‍රවේසම් වෙයන් මෝඩයා! මට රහසින් කී ඔහු වෙනදා මෙන්ම තරවටු කළේය. උසස් පොලිස් නිලධාරියෙකු සමග ඇති බාප්පාගේ දැඩි මිත‍්‍රකම ගැන මට සැකයක් නොවීය.

 20 වැනි සියවසට අයත් විප්ලවයක් කළද ජවිපෙට කිසිදු නවීන පණිවිඩ හුවමාරු ක‍්‍රමයක් හෝ සන්නිවේදන ක‍්‍රමයක් නොතිබුණෙන් මේ වැදගත් ආරංචිය පක්ෂයේ කාට හෝ දෙන්නේ කෙසේදැයි ඔළුව කඩාගෙන කල්පනා කළ මම කොටුව දුම්රියපළ හා පිටකොටුවේ බස් නැවතුම්පළ දෙසට යමින් එමින් පක්ෂයේ හඳුනන මුහුණක් දකීවායි පැතුවෙමි. නැති තැන වහා ගාල්ල බලා යෑමට තීරණය කළෙමි. මග දිගට ඇති හමුදා මුර කපොළු මාර්ග බාධක නිසා බසය ගාල්ලට ළඟා වීමට පැය 4 ක් පමණ ගත්තේය. මම ගාල්ල ප‍්‍රධාන බස් නැවතුම්පළෙන් බැස මිනිත්තු 5 කින් පමණ ප‍්‍රචාරය වන්නට වූ සන්ධ්‍යා ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් විජේවීරගේත් හේරත්ගේත් මරණ නිවේදනය විය.

 නොවැම්බර් 14 දින 15 දෙනකු පමණ වූ හමුදා කණ්ඩායමක් පැමිණ මම අත්අඩංගුවට ගනු ලැබූහ. මම රූපවාහිනි ප‍්‍රවෘත්තිවලින් ගමනායකගේ මරණය ඇසුවේ වැලිගම හමුදා කඳවුරේ දෑත් දෙපා දෑස් බැඳ බිම පෙරළා තිබියදීය.

 ඉන් පසු කලෙක පැරීසියේ අප නිවසට පැමිණි කරුණා ගමනායක සහෝදරිය, සිය සැමියා අත්අඩංගුවට ගත්තේ නොවැ: 13 සවස 5.30 ට පමණ බවත් එවිට නිවසින් පැනගොස් හබරල ගාලක සැඟව සිටි තමා අසල නිවසක රේඩියෝවෙන් විජේවීරගේ මරණය ඇසූ බවත් සහතික කොට කීවාය. තව මිනිත්තු 30 ක් හමුදාව ප‍්‍රමාද වීනම් ගමනායකගේ ජීවිතය බේරෙන බව ඇය පැවසුවාය.

 මගේ බාප්පා මට දුන් තොරතුර අනුව නොපමාව පක්ෂයට එම තොරතුර ලබා දීමට ක‍්‍රමයක් තිබුණේ නම් ගමනායක හමුදාවට අසු වන්නේ නැහැ නොවේදැයි මට අද පවා සිතෙයි. එහෙත් ජවිපෙ 89 විප්ලව කළේද 71 සිටි පසුගාමී සන්නිවේදන ක‍්‍රම සමගය.

 1943 ජුලි 14 උපන් විජේවීර සහෝදරයා අද ජීවත් වී නම් වයස 78 කි. 1948 ඔක්තෝබර් 17 උපන් ගමනායක සහෝදරයා අද ජීවත් වී නම් 73 කි.

 ඔවුන් දෙදෙනා ජීවත්ව සිට යම් හෙයකින් රටේ ජනතාව ජවිපෙට ආණ්ඩු බලය ලබා දුන්නේ නම් ජනාධිපති විජේවීර සහ අගමැති

 ගමනායක සිටින්නේත් වර්තමාන ජනාධිපති සහ අගමැති සිටින තරුණ ජවය පිරිහුණ වයසේමය. එහෙත් අසහාය විප්ලවවාදී කියුබාවේ ෆිදෙල් සිය තනතුරෙන් විශ‍්‍රාම ගත්තේ වසර 40 කට පසුව කකුල පැටලී බිම ඇද වැටීමෙනුත් පසු ගිලන් තත්ත්වයෙන් බව අප අමතක කළ යුතු නැත.

 මෙහි පළවන මගේ කෘතියේ ඇති මෙම පින්තුරය මට ලබාදී පළමු වරට පොතකට ඇතුළත් කිරීමට මට අවසරය ලබා දුන්නේ ලන්ඩන් ශාඛාවේ හිටපු ලේකම් පෝල් පීරිස් විසිනි. වෙන කවරෙකු වේවා මෙම පින්තූරය පාවිච්චි කරයිද ඒ මගේ කවරයෙන් බව සැලකුව මනාය.

 රෝහිත මුණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment