විඤ්ඤාණය නමැති මැජික්කරුවා

202

පිංවත අපිට ජීවත්වෙන්න තව බොහෝම පුංචි කාලයයි ඉතිරිවෙලා තිබෙන්නේ. අපේම අතීත සංස්කාර, දැනීම් ඔස්සේ, අපිව යළි යළිත් පංචඋපාදානස්කන්ධ ලෝකයට තල්ලු කරනවා, සිත් සේ ජීවිතය විඳින්නය කියලා. ඒත් වර්තමානයේ අපිට විඳින්නට ඉතිරිවෙලා තිබෙන්නේ දුක් වේදනාවන් පමණක්මයි. ජීවිතයේ ආයුෂයත්, ජීවිතයේ උණුසුමත්, රූපය ආහාරය කොටගෙන යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, ඔහේ බලා සිටිනවා, දැන් දැන් සැප වේදනාවන් ජීවිතයට ලැබේවි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබව වදයට පත්කරන වදකයා, ඔබ තුළම යි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබේ මෛත්‍රිය සහ කරුණාව ලබමින්, ඔබට මෛත්‍රිය සහ කරුණාව බෙදා දෙමින්, මේ වදකයා ඔබේ සිත දිනාගෙනයි සිටින්නේ. සෙව්වට හම්බ නොවන, කිව්වට තේරුම් නොයන, මේ මායාකාරී වදකයාගේ ගතිගුණ තේරුම් ගන්න නම් පිංවත් ඔබ සතරසතිපට්ඨාන ධර්මයන්ගේ නිවැරදි අර්ථය ජීවිතයට එකතුකොට ගන්නම වෙනවා.

පිංවත අපේ ජීවිත පටිච්චසමුප්පන්න වදකාගාරයක්. අපේ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්වුන තැන, විඳීම් තුළ බැසගත් වදකයා, හඳුනාගැනීම් තුළ බැසගත් වදකයා, සංස්කාර බැටන් පොල්ලෙන් අපිව යළි යළිත් වදයට පත්කරනවා. භවාත්‍රය නැමති බන්ධනාගාරය තුළ පවත්වාගෙන යන ජීවිතය නැමති වදකාගාරය, තාමත් අපි අවබෝධ නොකොට ගන්නේ, රූපය කෙරෙහි, කාමයන් කෙරෙහි, වේදනාව කෙරෙහි ආශ්වාදය නිසාමයි. ඔබ අද රාත්‍රියට දකින පාට පාට සිහින තුළත් මේ වදකයා බැසගෙන සිටිනවා. මරුවිකල්ලෙන් කෑගසන මරණකරුගේ අඳෝනාව තුළත්, මේ වදකයා බැසගෙන සිටිනවා. පිංවත මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් වැඩිවෙන කොට, මේ වදකයා කාර්යබහුල වෙනවා. වර්තමානයේ සමහරක් පිංවතුන් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, ප්‍රශ්න වැඩි නිසා දැන් රාත්‍රියට නින්ද යන්නෙත් නැහැය කියලා. පිංවත ප්‍රශ්න අයිතිත් වදකයාටමයි, ප්‍රශ්න හේතුවෙන් නොනින්දේදී අපි සිතන අරමුණු අයිතිත් වදකයාටමයි. අධ්‍යාත්මික රූපය ඇසුරේ පෝෂණය වන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නැමති වදකයා, ඔබ තුළ සකස්වෙන පංචඋපාදානස්කන්ධ ලෝකයේ, සෑම බිම් අඟලකම ආධිපත්‍යය දරන ඒකාධිපතියා වෙනවා.

විඤ්ඤාණය නමැති මැජික්කරුවා

මේ දවස්වල අපි කාගෙත් ඇලීම් සහ ගැටීම් වැඩි නිසාම, අපේ සංස්කාරයෝ බොරදියක් බවට පත්වෙලයි තිබෙන්නේ. අනාගත පංචඋපාදානස්කන්ධ දුකේ අත්තිවාරම ශක්තිමත්කොට දෙන්න, මේ දවස්වල වදකයා සිත් සේ බොරදියේ මාළු බානවා. අධ්‍යාත්මික රූපය ආහාරය කොටගෙන තමා තුළින්ම පෝෂණය වෙන අසත්පුරුෂ වදකයාම තමයි, සත්පුරුෂ වේශයෙන්, මනුෂ්‍යත්වයේ වේශයෙන්, උපසම්පදා භික්ෂූන් වන අපිටත් හොඳ නරක කියලා දෙන්නේ. මේ වදකයා ප්‍රාතිමෝක්ෂ ශීලය, සාමණේර ශීලය ගැන හුඟාක් වෙලාවට තෘෂ්ණිම්භූතවයි සිටින්නේ. අතීත භවගමනේ අපිට සතර අපාය මහගෙදරක් බවට පත්කොට දුන් පටිච්චසමුප්පන්න වදකයා අද අපිට දැනීම් සකස්කොට දෙන්නේ වගා කරන්න, උයන්න, පිහන්න, රැකී රක්ෂා ව්‍යාපාර කරන්න, අනේ සාදු සාදු භික්ෂුව කාටවත් අගෞරවයක් කරනවා නම් නොවේ. තමා තුළම පෝෂණය වෙන, තමාව භව දුකට පමුණුවන වදකයා ගැන, සිහිපත්කොට දෙනවා පමණක්මය.

පිංවත උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් සිටිනවා, උන්වහන්සේට දැනීම් සකස්වෙන්නේ ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වලකොට ගැනීමටමයි. උන්වහන්සේ තුළ සකස්වෙන දැනීම් යනු පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති වදකයාමයි. තවත් පිංවත් උපසම්පදා ස්වාමින්වහන්සේ නමක් සිටිනවා, උන්වහන්සේට තම ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල කොටගැනීමට දැනීම් සකස්වෙද්දී, උන්වහන්සේ දුෂ්ශීලභාවයේ වියරු ආදීනවයන් නුවණින් දැක, ප්‍රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්ෂාකොට ගන්නවා. ප්‍රාතිමෝක්ෂ ශීලයේ ශක්තිය උදෙසා උන්වහන්සේ තුළ සකස් වූ දැනීම් අයිති වෙන්නේත් උතුම් සතිසම්බොජ්ජංගයේ හෙණ්ඩුවට දමනය වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති වදකයාටමයි. අනාගතයේ යම් දිනයක අපි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට උතුම් රහත්ඵල අවබෝධය ලබයිද, එදාට අවිද්‍යාව නිරෝධය වෙනවා. අවිද්‍යාව නිරෝධය වූ කල්හි සංස්කාරයෝ නිරෝධය වෙනවා. සංස්කාරයෝ නිරෝධය වූ කල්හි විඤ්ඤාණය නමැති වදකයා නිරෝධය වෙනවා. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය ලබද්දී, එම රහතන් වහන්සේ විඤ්ඤාණ නමැති වදකයාගේ ඇලීම්, ගැටීම්, උපේක්ෂා, මැජික් යෂ්ඨි විනාශකොට දමන අතර තෘෂ්ණාවේ රුව සහ ගුණ මරා දැමූ පටිච්චසමුප්පන්න වදකයාගේ පරිපූර්ණ නිවීම පිරිනිවීමේදී සිද්ධවෙනවා.

පිංවත රූපය කියන්නේ මාරයාට. පිංවත විඤ්ඤාණය කියන්නේත් මාරයාට. රූපයත්, විඤ්ඤාණයත් මාරයා වෙද්දී, මේ කාරණා දෙකේ මුහුවීමෙන් සකස්වෙන ඵස්සය තුළ මාර ධර්මයන් දෙකක ආධිපත්‍යය සැඟවිලා තිබෙනවා. ඊට අමතරව අවිද්‍යාව සහ සංස්කාර කියන මාර ධර්මයෝත් ඵස්සයේ සශ්‍රීක පෝෂක ධර්මයන් වෙනවා. පිංවත මාර ධර්මයෝ සතර දෙනෙක්ම, ඔබේ ඵස්සය පෝෂණය කරන නිසාම, ඔබ ඇසෙන් රූපයක් දකිද්දී එම රූපය විඳින්නම යනවා. කනෙන් ශබ්දයක් ඇසෙද්දී එම ශබ්දය විඳින්නම යනවා. සළායතනයෝ විඳීමේ ගොදුරු බවටම පත්කොට ගන්නවා.

පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, වෙලාවකට මට සිතෙනවා, මගේ ඇස් දෙක අන්ධකොට ගන්නය කියලා. මේ දෑස් රූප පස්සේ අකුසලයම සොයාගෙන යනවාය කියලා. මේ සළායතනයෝ රූප පස්සේ, අකුසලයම, සතර අපායම සොයාගෙන යනවාය කියලා. පිංවත ඔබටත් ඉහත ප්‍රශ්නය තිබෙනවාද. හැමදාම අරක්කු බීපු මහත්මයෙක් දැන් අරක්කු බිම සම්පූර්ණයෙන්ම නවත්තලා. මේ මහත්මයා කියනවා, අරක්කු බොන කාලයේ අරක්කු ආශ්වාදය වින්ද. දැන් මම අරක්කු නොබීමේ සතුට විඳිනවා කියලා. පිංවත මේ දෙයාකාරයේ විඳීම තුළම, ඉහත මාර ධර්මයන් හතරම බැසගෙන තිබෙනවා. ඒ නිසාම ඔබ අරක්කු නොබිව්වාය කියලා සැබෑ අනතුරින් බැහැරවෙලා නැහැ. විඤ්ඤාණය නැමති වදකයා ඔබට පුංචි විජ්ජාවක් පෙන්වූවා පමණක්මයි. පිංවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ, ඔබේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් පෝෂණය වූ, උතුම් සතිසම්බොජ්ජංගය උපයෝගී කරගෙන, මුල් අදියරේදී විඤ්ඤාණය නමැති වදකයාගේ තෘෂ්ණාවේ විෂ දළ, පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් මොටකර දමන්න.

ඇත්තටම අපි මොකක්ද මේ කරමින් සිටින්නේ, පවෙන් බැහැර වෙලා පින් කරනවා. ද්වේශයෙන් බැහැරවෙලා මෛත්‍රිය කරනවා. මේ සීමාව අපි තරණය කරන්නේ නැහැ. මේ දෙයාකාරයේ ධර්මයන් තුළම වදක මාර ධර්මයන් බැසගෙන තිබෙන බව අපි දකින්නේ නැහැ. මම දැන් හොඳ ළමයෙක් යැයි කියලා, තාවකාලිකව සිල්ගත්ත විඤ්ඤාණය නැමති වදකයාටම ලකුණු දෙනවා. කරුණාකර ඔය විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ මායාකාරි සුදු රෙදි ගලවා දමන්න. එවිට ඔබට ජාති, ජරා, ව්‍යාධි, මරණ, භව නිරුවත සක්සුදක් සේ පෙනේවි.

පිංවත දැන් වෙලාව පාන්දර තුනයි. නිහඬභාවය හැර කැලෑ පරිසරයේ වෙන මුකුත්ම නැහැ. මුළු සම්මුති ලෝකයම මගහැරලා, භික්ෂුව විදර්ශනාමය නාමරූප ලෝකය ළඟ නැවතිලා සිටිනවා. එතැන පටිච්චසමුප්පන්නව ඉපදුනා වූ රූපයක් තිබෙනවා. රූපය ආහාරය කොටගන්න පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති වදකයා සිටිනවා. ඒත් ඒ වදකයාට ඵස්සය ඉදිරියේ හොඳ හෝ නරක මැජික් පෙන්වන්න බැහැ. වදකයා මැජික් යෂ්ටිය අතට ගනිද්දී, භික්ෂුව සතරසතිපට්ඨානය නමැති විදර්ශනාමය යෂ්ටියෙන් ධමනය කරනවා. පිංවත මේ සුන්දර වස්සානයයි. ජීවමාන ශාස්තෘන් වහන්සේ නමකගේ ආශිර්වාදය ලබන වස්සානයයි. උතුම් ධර්ම, විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේගේ අවවාද, අනුශාසනා, පූර්වාදර්ශයන් ලබන වස්සානයයි. ඒ ජීවමාන ශාස්තෘන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන, උන්වහන්සේ තබන පියවරට පසු පියවර තබමින් සිතුවිල්ලෙන් සිතුවිල්ල තරණය කරන වස්සානයයි.

පිංවත ඔබ කෙසේද ජීවමාන ශාස්තෘන් වහන්සේට අදාළව සිතුවිල්ලෙන්, සිතුවිල්ල තරණය කරන්නේ. පිංවත බියක්, පාළුවක්, තනිකමක්, අසරණකමක්, නොදැනෙන, ජීවමාන ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේගේ ප්‍රඥාවේ මහා පහන් කණුව පාමුල සිට පිංවත් ඔබට තබන මේ සටහන්, ඔබේ ආත්ම විශ්වාසය මෝදුකොටදීම උදෙසාමය. පිංවත සිතුවිල්ලෙන් සිතුවිල්ල ඔබේ ප්‍රඥාව අවදිකොට ගන්න. ලෞකික ප්‍රඥාව වඳබහින සමාජයක, ඔබේ පාලකයා ඔබම වෙන්න. ඔබේ පාලනය අනුනට දෙන්න එපා. පිංවත ලෞකික ප්‍රඥාව දුර්වල පාලකයා යනු පටිච්චසමුප්පන්න වදකයෙක්මය.

පිංවත, මොහොතක් දෑස් පියාගෙන ඔබ තුළ සකස් වෙන ඊළඟ සිතුවිල්ල ප්‍රඥාවට පාවඩයක් කොට දෙන්න. ඔබේ ඵස්සය අසලින් ලෝකය උදුරා දමන්න. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපිට, වල් පැළෑටි උදුරා දමන්න යැයි කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරන්නේ, ඵස්සය අසලින් ලෝකය උදුරා දමන්නය කියලයි. පිංවත ඇසෙන් රූපයක් දකිද්දී, දැක්කාය කියන තැන නවතින්න. ඒ දැක්කාය කියන සිතත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. ඔබේ කනට ඇසෙන ශබ්දය ඇසුනාය කියන තැන නවතින්න. ඒ ඇසුනාය කියන සිතත් චිත්තානුපස්සනාවෙන්ම අනිත්‍ය යැයි දකින්න. එල්ලෙන්න වැල් නැති විදර්ශනා ප්‍රඥාව සිතුවිල්ලෙන් සිතුවිල්ල ඔබව ලෝකයෙන් නිදහස් කරනවා. පටිච්චසමුප්පන්න වදකයාගේ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, කිළිටි ඇඳුම් එල්ලන භව වැල තාවකාලිකව වදකයාට අහිමිකොට දමනවා. පිංවත ධර්මය හරිම නිදහස්. පිංවත් ඔබත් එන්න, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ පියාපත් සෙවනට.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment