විත්තියේ සාක්‍ෂි නොකැඳවාම දිවිනැඟුම ලිත් නඩුවෙන් බැසිල් සහ රණවක නිදොස් කොට නිදහස්

232

දිවිනැඟුම ලිත් නඩුවේ සියලූම අධිචෝදනාවලින් එම නඩුවේ විත්තිකරුවන් වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අමිල කිත්සිරි රණවක යන මහත්වරුන් විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (01 දා) නියෝග කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා කිසිවක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවත් පැමිණිල්ල සාක්‍ෂි ඉදිරිපත් කොට ඇත්තේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකළ අධිචෝදනා සානාත කිරීමට නොව එකී අධිචෝදනා බැහර කිරීමට බව තම අධිකරණයට පෙනී යන බවත් විවෘත අධිකරණයේදී පෙන්වාදෙමින් විනිසුරුවරයා එම නියෝගය කළේය.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්‍ෂයක් වැයකර එම ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් දිවිනැඟුම ලිත් පනස් ලක්‍ෂයක් මුද්‍රණය කර බෙදා හැරීමෙන් විත්තිකරුවන් දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇති බවට පැමිණිල්ල චෝදනා නඟා ඇතත් එකී කටයුතු සඳහා මුදල් වැයකර ඇත්තේ නිත්‍යානුකූලව බවට පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලබාදුන් සාක්‍ෂි අනුවම පැහැදිලි වන්නේ යැයිද විනිසුරුවරයා සිය නියෝගය ප‍්‍රකායට පත්කරමින් පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කොට තිබූ 2015 ජනාධිපතිවරණ චක‍්‍ර ලේඛයට පටහැනිව කටයුතු කර ඇති බවට ප‍්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බවද සිය නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 79 (අ) වගන්තිය මගින් විස්තර කර ඇති අල්ලස පිළිබඳ වරද සිදුකිරීම, ඒ සඳහා අනුබල දීම, එකඟවීම හා ඒ සඳහා පොදු අරමුණක් ඇතිව එක්ව කි‍්‍රයා කිරීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. නීතිපතිවරයා ගොනුකර ඇති පස්වන අධිචෝදනාව මගින් ගම්‍ය වනුයේ විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතා එකී වරද සිදුකිරීම සඳහා ඔහුට අනුබලදීමක් වන්නේ යැයිද සිය නියෝගය මගින් පෙන්වා දුන් විනිසුරුවරයා අධිචෝදනා ගොනුකර වසර කිහිපයක් ගතවී ඇතත් පැමිණිල්ල විසින් ඒවා කියවා බැලීමක් සිදුකර නොමැති බවත්, එවැනි කරුණු අනුව පැහැදිලි වන්නේ යැයිද පෙන්වා දුන්නේය.

එකී අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන්ට එරෙහිව 2015.12.15 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රථම වරට නඩු පවරා තිබිණි. එකී නඩු පැවරීමට නීතිපතිවරයා අවසර ලබාදුන් අවසර පත‍්‍රය අධිචෝදනා පත‍්‍රය සමග අධිකරණයට ඉදිරිපත් කර නොතිබීමේ හේතුව මත 2016.12.06 වැනිදා නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පියවර ගත් අතර පසුදිනම අධිචේදනා පත‍්‍රයක් ගොනුකර නැවත නඩු පැවරීමට ද නීතිපතිවරයා පියවර ගෙන තිබිණි.

එම විත්තිකරුවන් ඇපමත මුදාහැරීමේදී ඇප බැඳුම්කර වෙනුවෙන් යම් මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කර ඇති නම් එය ඇපකරුවන්ට මුදාහරින ලෙසටත් විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයේ ඇති නම් ඒවා විත්තිකරුවන් වෙත මුදාහරින ලෙසටත් විනිසුරුවරයා එහිදී මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ තවත් නඩු දෙකකින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කොට තිබිණි. 2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 ක් වැයකර දිවිනැඟුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාම නිදොස්කොට නිදහස් කිරීමට පූර්වගාමී මහාධිකරණ විනිසුරු රත්නපි‍්‍රය ගුරුසිංහ මහතා 2020.11.30 වැනිදා නියෝග කොට තිබිණි.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36.5 ක් වැයකර ජී. අයි. බට මිලදී ගෙන 2015 ජනාධිපතිවරණ සමයේදී පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කොට නොතිබියදීත් ඒවා පළාත් පාලන ආයතන වෙත මුදාහැරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ද විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා 2021.10.15 වැනිදා නියෝග කොට තිබිණි. නීතිපතිවරයා විසින් අධිචෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීම නිසා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තෙරවම ඔහු නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කොට තිබිණි. නීතිඥ මාර්ක් ඇන්ටන්, ජයබා කළුපහන, නිලන්ත විජේසිංහ, විජේසිරි අඹවත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරුන් විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment