විත්තිය නිදහස්; පැමිණිල්ල එල්ලුම් ගස් – (ජෙරම් ප්‍රනාන්දු 02)

1643

ජෙරම් ප්‍රනාන්දු පාස්ටර් සිඟිත්තා ගැන දෙවන කතු වැකියක් ලිවිය යුතු යැයි අපි අපේක්ෂා නොකෙළෙමු. ඒ නිසා ඔහු පිළිබඳ සාමාන්‍ය කතු වැකියක් ඊයේ පළකර කඩේ වසා දැමීමට අපි කල්පනා කරගෙන සිටියෙමු. එහෙත් ඔහු රටින් පැන යෑමත් රටින් පැන යෑමට පෙර බුදු දහම, ඉස්ලාමය, හින්දු ආගම යනාදිය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු කළ දේශනය දැන දැනම ගැසූ ගේමක් බවත් කතෝලික පල්ලිය ඔහුට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීමත් හේතුකොටගෙන ඔහු ගැන තවත් කතු වැකියක් ලිවීමට අපි තීරණය කළෙමු. ජෙරම් ප්‍රනාන්දුගේ ඉතිහාසය දෙස බලන විට ඔහු රෝමානු කතෝලික ද නොවන ක්‍රිස්තියානි ද නොවන වෙනම ආගමික කල්ලියක නායකයකු බව පෙනී යයි. නළුවකු මෙන් කඩවසම් අති දක්ෂ නිවේදකයකුටත් වඩා චතුර කථිකත්වයක් ඇති ජෙරම් ප්‍රනාන්දු තමා දිවැසිවරයකු හෙවත් අනාගත වක්තෘවරයකු ලෙස අඟවාගෙන සිටි කදිම නළුවෙකි. ඇඟේ අතන මෙතන ස්පර්ශ කර ලෙඩ සුව කිරීමේ හැකියාවක් ඔහු සතුව තිබූ බව කියනු ලැබේ.

රෝගීන්ගේ අත පය ඔළුව අල්ලා ඔවුන් සුව කරන බව පෙන්වන පල්හොරු බෞද්ධාගමික සමාජය තුළ ද බහුලය. මෙයින් සමහර දෙනා දෘශ්‍යාබාධිතයින්ට පෙනීම ලබාදෙන බවත් ඇවිදීමට නොහැකි අය ඇවිද්දවන බවත් දැක්වෙන වීඩියෝ යූ ටියුබ් එකට මුදා හරිති. අපගේ මතය අනුව ජෙරම් ප්‍රනාන්දු පල් හොරෙකි. හැබැයි ඔහු අපෙන් තඹ සල්ලියක් හොරකම් කර නැත. ඔහු හොරකම් කරන්නේ මනුෂ්‍යයාගේ හද පත්ලෙන් නැගෙන විශ්වාසය නමැති අගනා සාධකයයි. ජෙරම් ප්‍රනාන්දු මේ මොහොතේදී රට පැන සිටින්නේ ස්වකීය දේශනයේදී කියූ කාරණා පත්තු වන බව දැන දැනමය. ඔහු නීතියේ ග්‍රහණයෙන් මිදී රට පැන්නේ අපේම වරදිනි. ජෙරම් ප්‍රනාන්දුගේ අර්බුදයට තුඩු දුන් දේශනය අඩංගු වීඩියෝව දැනට සතියක පමණ කාලයක සිට අන්තර්ජාලයේ කරකැවෙයි. මෙය දුටු වහාම CIDයට පැමිණිල්ලක් කර මේ සිඟිත්තා කූඩු කිරීමට හැකියාව තිබුණි. එහෙත් අපි ඒ සඳහා ක්‍රියාත්මක නොවූයෙමු. අප මුලින්ම කළේ එම වීඩියෝව බලා ඒ ගැන දවසක් පමණ කල්පනා කරමින් සිටීමය. අප ඒ ගැන අපේ මිතුරන් සමග සාකච්ඡා කරන්නේ තවත් දවසකට පසුය. ඊළඟට අපේ කට්ටිය PRESS CONFERENCE තබමින් වීඩියෝවට බැණ වැදීමටත් එයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කියන්නට පටන් ගනී. මේ වනවිට දිවැසිවරයකු වුණත් නැතත් ඊළඟට සිදුවෙන්නේ කුමක්ද යන්න ජෙරම් ප්‍රනාන්දුට දැනෙන්නේය. ඊළඟට ඔහු පවුල පිටින්ම රට පනී. අපේ කට්ටිය අණබෙර ගසා ප්‍රසිද්ධියේ set වෙන විට තමාට කෙළවෙන්නට යන බව දැනගැනීම සඳහා ජෙරම් ප්‍රනාන්දු අනාගත වක්තෘවරයකු වීමට වුවමනා නැත. දිවැසිවරයකු වීමටද වුවමනා නැත. දිවැසි යනුවෙන් හඳුන්වන්නේ දිව්‍යමය ඇසක් ඇත්තා යන්නය. දිව්‍යමය ඇසක් ඇති අයකුට අතීතය, අනාගතය, වර්තමානය යන තුන් කාලයම පෙනේ. ජෙරම් ප්‍රනාන්දු දිවැසිවරයකු වන්නේ ඔහුට දිව්‍යමය ඇසක් තිබෙන නිසා නොව දිවක් හා ඇස් දෙකක් තිබීමේ හේතුවෙනි. හැබැයි සැබෑ දිවැසිවරයකු නොවීත් ඔහු ළඟ එන අනතුර දැකීම විශිෂ්ට ක්‍රියාවකි. මෙවැනි දක්ෂ පුද්ගලයින් ඇගයීම සඳහා රටින් පැන යනු පිණිස ඔවුන්ට ගුවන් ටිකට් පත් අරන් දීම ආණ්ඩුවේ වියදමින් කළ යුතුය.

පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු සිඟිත්තා මේ රටේ ජන සමාජය තුළ පිනුම් ගසන්නට පටන්ගන්නේ අද ඊයේ සිට නොවේ. ඔහු අවුරුද්දක පමණ සිට සීන් එකේ සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ කරන්නේ තමාගේ ආශිර්වාදය නිසා යැයි ඔහු වරක් කීවේය. ඒ ප්‍රකාශයෙන් දින කීපයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටරටවලදී අම්බානක පරදින්නට පටන් ගත්තේය. එතකොට මේ පරාජයන් හට ගත්තේ කා නිසාද? ජෙරම් ප්‍රනාන්දු වගකියන්නේ ජයග්‍රහණ සඳහා පමණක් විය යුතුය. ඔහුගේ හපන්කම්වලට සංගක්කාර පවුල ද ගෑවී තිබුණි. ඔහු දිගින් දිගටම වේදිකා මත නැගී ආගමික බයිලා කියන විට මේ රටේ කතෝලික සභාවත්, පන්සලත්, ඉස්ලාමීය පල්ලියත්, හින්දු කෝවිලත් නිකමටවත් කට හෙල්ලුවේ නැත. ඒ නිසා මහත් සේ චූන් වූ ජෙරම් රෙදි නැතිවම අනාගත වක්තෘ චරිතයට ඇන්දේය. ඇත්තටම බලාගෙන යනවිට රෙදි නැතිව සිට ඇත්තේ ජෙරම් නොව අපය. ඔහු මේ විදිහට එක දිගටම ආගම්වලට පහරදෙමින් බයිලා කියමින් ඇවිද්දේ නම් මේ රට තුළ අනාගත ආගමික යුද්ධයක් හටගැනීමට හොඳටම ඉඩ තිබිණ. මේ අතර දිවැසිවර ජෙරම් ප්‍රනාන්දුගේ ගුරු දෙවියා ලෙස පෙනී සිටින සිම්බාබ්වේ රටේ පදිංචි ඌබට් ඒන්ජල් නම් දේවගැතිවරයා රත්තරන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ බව අල්ජසීරා පුවත් සේවය පවසා තිබේ. මෙය ඉතාම ආතල් තත්ත්වයකි. දිවැසිවරයා තම මව්බිම ආගමික යුද්ධයකට ගෙනයෑමට තැත් කරද්දී ඔහුගේ ගුරු දෙවියා හොරකමේ යයි. මේ මොහොතේදී ජෙරම් ප්‍රනාන්දුගේ සිද්ධිය රට කළඹන කේස් එකක් බවට පත්වී ඇති නමුත් තවත් අවුරුද්දක ඇවෑමෙන් මේ සියල්ල මේ රටේ ජනයාට අමතකව යනවා ඇත. එවිට ලංකාවට එන ජෙරම් ප්‍රනාන්දු නැවත වතාවක් සිය ජාවාරම පටන් ගැනීමට ඉඩ තිබේ. එතැන් පටන් ඔහු විවේචනය කළ අප පිටුපසින් පොලු මුගුරු රැගත් කට්ටිය එළවන්නට පටන් ගන්නවා ඇත. මේ රටේ හැම දෙයක්ම අවසන් වෙන්නේ ඔහොමයි. නිතරම එල්ලුම් ගස් යෑමට සිදුවන්නේ විත්තියට නොව පැමිණිල්ලට ය.

advertistmentadvertistment
advertistmentadvertistment