විද්‍යාත්මක සමාජවාදය හා කාල් මාක්ස් දර්ශනය!

1185

කාල් මාක්ස්ගේ අද (14 දා) ට යෙදී ඇති 140 වන අනුස්මරණ දිනය නිමිත්තෙනි.

විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල් මාක්ස් 1818 මැයි මස 05 වැනිදා ජර්මනියේ ටි්‍රර් නගරයේදී උපත ලැබුවේය. ඔහුගේ පියා නීතිවේදියකු වූ හෙන්රිශ් මාක්ස් විය. මව ඕලන්දයේ උපත ලැබූ හෙන්රි යට්ටා නම් වූවාය. 1835 වන තෙක් මාක්ස් ටි්‍රර් නගරයේ මූලික අධ්‍යාපනය ලැබුවේය. පසුව බොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා අංශයට ඇතුළු විය. මාක්ස් වැඩි වශයෙන් දර්ශනවාදය, ඉතිහාසය හා විද්‍යා විෂයයන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූයේ ය. නිර්මාණශීලී සාහිත්‍ය සඳහා ද බොහෝ කාලයක් මිඩංගු කළේය. දැනීම ලබාගැනීම සඳහා නොසිඳෙන පිපාසයක් ද ගැඹුරු ලෙස සත්‍ය සෙවීම ද තම කටයුතු පිළිබඳ ස්වයං විවේචනය ද අරගලකාරී හා සටන්කාමී ජීව ගුණය ද තරුණ කාල් මාක්ස් සතු විය. 18 වැනි ශත වර්ෂයේ අවසානයේ බි්‍රතාන්‍යයේ ඇතිවූ කාර්මික විප්ලවයෙන් පසු යුරෝපා රටවල පැවැති රදල සමාජ සම්බන්ධතාවන්ගේ නටබුන් බිඳවැටීමට පටන් ගත් අතර, කාර්මික විප්ලවය යුරෝපා මහාද්වීපය පුරා ව්‍යාප්තවීම ආරම්භ විය. මහා ධනපති කර්මාන්ත සංවර්ධනයත් සමඟ ගොවීහු හා හස්ත කර්මාන්ත ශිල්පියෝ නිෂ්පාදන මාධ්‍යයන්ගේ කිසිවක් අයිති නැති අනුකම්පා විරහිත සූරාකෑමට භාජනය වූ කුලී වැටුප් ලබන කම්කරුවන් බවට පරිවර්තනය වූහ. ඓතිහාසික සිද්ධීන් මහුකුරා වැඩුණු එවැනි තත්ත්වයක් තුළ දී මාක්ස්ගේ මත සකස් විය. යුරෝපා රටවල ධනවාදය තහවුරුවීම මගින් පන්ති අරගලය උග්‍රවීමට ද, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතික විමුක්ති ව්‍යාපාරවල පුළුල් ව්‍යාප්තවීමකට ද, ධනපති ක්‍රමයට විරුද්ධව නැඟී සිටින්නා වූ නිර්ධන පන්තියක් ඓතිහාසික කරළියෙහි පෙනී සිටීමකට ද මං පාදමින් කම්කරු නැඟිටීම් වර්ධනය විය.

● පීඩිත ජනතාව

1841 අප්‍රේල් මාසයේ දී කාල් මාක්ස්ට දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිවිය. වැඩකරන ජනතාවගේ ජීවිතයේ ද්‍රව්‍යමය සහ ආර්ථික ප්‍රශ්න කෙරෙහි ගැඹුරු වුවමනාවක් දැක්වූ මාක්ස් ඒ වනවිට පැවැති මනෝරාජිත කොමියුනිස්ට්වාදී අදහස් පිළිබඳ පිරික්සා බැලුවේය. විද්‍යාව යටපත් කර ගැනීමට ආගම දැරූ සියලුම ප්‍රයත්නවලට සහ මිනිස් විඥානය බැඳ තැබීමට ඉදිරිපත් වූ සියලුම ප්‍රයත්නවලට විරුද්ධව මාක්ස් නැඟී සිටියේය. අහසේ සහ පොළොවේ සිටින සියලුම දෙවිවරුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන මාකස් සටන්කාමී අදේවවාදියකු හා විප්ලවවාදියකු ලෙස පෙනී සිටියේය.

ලෝකයේ පීඩනයට පත්වී සිටින ජනතාව එයින් මුදා ගැනීමේ විද්‍යාත්මක දර්ශනයක් සකස් කිරීම සඳහා තම ජීවිතය කැප කළ කාල් මාක්ස් ස්වකීය ද්‍රව්‍යවාදී දෘෂ්ටිය පදනම් කරගත් ඔහුගේ න්‍යාය ජනතාවට පසක් කරගත හැක්කේ එම න්‍යායෙන් ඔවුන්ගේ ඉතා වැදගත් අවශ්‍යතාවන් සහ ප්‍රධාන අයිතිවාසිකම් පිළිබිඹු වුවහොත් පමණකැයි යන චින්තනය වර්ධනය කළේය.

● සමාජවාදී න්‍යාය

මාක්ස්ගෙන් මානව වර්ගයාට සිදුවූ අගනා සේවය වන්නේ වැඩකරන ජනතාවගේ ඓතිහාසික විමුක්තිකාමී කාර්යභාරය අරබයා ප්‍රඥාවේ හා සංකල්පමය සමාජවාදය මනෝරාජිත තත්ත්වයක සිට විද්‍යාවක් දක්වා පරිවර්තනය කිරීමයි. වැඩි වැඩියෙන් පෑගී සිටින පන්තියට සිය ජීවිතය කැප කළ මාක්ස්ට තමන්ගේ අදහස්වලට සම්පූර්ණයෙන් ම කැප වූ විශ්වාසවන්ත මිතුරකු වූ පෙඩ්රික් ඒංගල්ස්ගේ සහයෝගය ලැබුණි.

කාල් මාක්ස් ජාතීන් සහ ජනවර්ග අතර පැනනඟින ප්‍රශ්න පිළිබඳ වැදගත් මූලධර්මයන් සම්පාදනය කළේය. “වෙනත් ජාතියක් පාගා සිටින ජාතියක් නිදහස් ජාතියක් නොවන” බවත්, ජාතීන් අතර සමානාත්මතාව හා නිර්ධන පන්තියක ජාත්‍යන්තරවාදී මූලධර්මය ජාතීන් හා ජනවර්ග අතර පවත්නා ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ප්‍රතිපත්තියක් බවත් එයින් විස්තර කරනු ලැබීය. කාල්මාක්ස් හා පෙඩ්රික් ඒංගල්ස් ලියා පළ කළ “කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රකාශනය” මගින් මාක්ස්ගේ ඉගැන්වීම්වල සංයුක්ත කොටස් තුන වූ දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ විස්තර කළේය. කම්කරු පන්තිය විද්‍යාත්මක විප්ලවවාදී න්‍යායකින් සන්නද්ධ කොට වැඩකරන ජනතාවගේ ස්වාධීන පක්‍ෂයකට අවශ්‍ය උපාය සහ උපක්‍රමවල පදනම දැමුවේ ද මාක්ස් සහ ඒංගල්ස් විසිනි. තම ඉගැන්වීම් ලෝකයේ වෙනස්කිරීමේ අවිය ලෙස ගැළපූ මාක්ස්, සමාජවාදය කම්කරු පන්ති ව්‍යාපාරය සමඟ එක්බද්ධ කිරීමටත්, ධනපති සමාජ ක්‍රමය වෙනුවට විද්‍යාත්මක සමාජවාදී ක්‍රමය ඉදිකිරීමේ ඓතිහාසික කාර්යභාරය භාරව සිටින නිර්ධන පන්තිය තම න්‍යායයෙන් සන්නද්ධ කිරීමටත් ක්‍රියා කළේය.

අධික වේගයකින් මොළය වෙහෙසා වැඩ කිරීම හා ආර්ථික අමාරුකම්වලට මුහුණපෑම නිසා දිනෙන් දින මාක්ස්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කලක් සිටම පිරිහෙන්නට විය. මේ අතරතුර මාක්ස්ගේ බිරිඳ රෝගාතුර වීම ඔහුට අති බරපතළ පහරක් විය. 1881 දෙසැම්බර් මාසයේ 02 වැනිදා මාක්ස්ගේ බිරිඳ ජෙනි මියගියේය. 1883 පෙබරවාරි මාසයේ මාක්ස්ගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඔහුගේ ශක්තිය වේගයෙන් දුර්වල වන්නට විය. මාර්තු 14 වැනිදා දහවල් 2.45 ට පමණ හාන්සි පිටුවේ වාඩි වී සිටියදීම මාක්ස් සදහටම නිහඬ විය.

මාක්ස් අවසන් කාලයේ ජීවත් වූ ලන්ඩන් නගරයේ පිහිටි හයිගේට් සුසාන භූමියේ ඔහුගේ බිරිඳ වූ ජෙනි මිහිදන් කර තිබූ ස්ථානයේම මාර්තු 17 වැනිදා මාක්ස්ගේ මෘතදේහය මිහිදන් කරන ලදී. එහිදී ඔහුගෙන් සමුගනිමින් කතා කළ මාක්ස්ගේ කල්‍යාණ මිත්‍රයා වූ ඒංගල්ස් තම මිතුරාගේ යෝධමය කටයුතු ගැන විස්තර කළේය. ඒවා අතර ඉතා විශේෂ ස්ථානයක් හිමි වූයේ සැබැවින්ම මාක්ස්ගේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් වූ මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ න්‍යාය සහ අතිරික්ත වටිනාකම පිළිබඳ න්‍යාය විය. මාක්ස් ඉමහත් ප්‍රඥාවෙන් හෙබි චින්තකයකු පමණක් නොව ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා බවත් ඒංගල්ස් එහිදී පැවැසීය. තමාගේ ගුරුවරයා සහ මිතුරා වන මාක්ස්ගෙන් අවසන් වශයෙන් සමුගත් ඒංගල්ස් සිය කතාව අවසන් කළේ අනාවැකියකිනි. “මාක්ස්ගේ නමත්” ඔහුගේ කාර්යභාරයත් ශතවර්ෂ ගණනාවක් පවතිනු ඇත යනු ඒ අනාවැකිය විය.

එස්. සුදසිංහ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය

advertistmentadvertistment
advertistmentadvertistment