විද්‍යාලංකාර සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් විදුලකර නාහිමියෝ සංඝනායක පදවියෙන් පුද ලබති

149

විද්‍යාලංකාර දින පොතෙහි අනාගතයේ මතු දවසක 2023 අප්‍රේල් මස 07 වෙනිදා තවත් වැදගත් දිනයක් වනවා නිසැකය. ඒ මක් නිසාද යත් විද්‍යාලංකාර පිරුවනෙහි නව වන පරිවේණාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත
උපෝෂිතාගාරයේදී ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගෞරවාභිධාන සම්මුතිය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය සිදුවූ දවස ලෙසයි.

විද්‍යාලංකාර ගමන් මඟේ සුවිශේෂතම ඓතිහාසික දිනයක් වනුයේ 1940 අප්‍රේල් මස 07 වෙනිදාය. එය විද්‍යාලංකාර ඉතිහාසයේ නොමැකෙන අනුස්මරණීය දවසකි. සර් කනිංහෑම් මහතා සමඟ ඉන්දියාවේ භිල්සා ස්තූපය හෑරු මෙයිසි මහතාට හමුවූ නිසැක සර්වඥ ධතූන්වහන්සේලා එංගලන්තයට ගෙන ගොස් පසුකාලීනව මෙයිසි මහතාගේ මිනිබිරියක විසින් එකල 1940දී ලංකාණ්ඩුකාරයා වූ සර් ඇන්ඩෘ කෝල්ඩිකෝට් මහතා මාර්ගයෙන් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ඇමැතිතුමා විසින් විද්‍යාලඞ්කාර පිරුවනට වැඩම කරවීම ඒ සුවිශේෂීත්‍වයට හා ඓතිහාසිකත්‍වයට හේතුවයි. මෙම අවස්ථාවේදී එම ඓතිහාසික දිනය සිහිපත් කරනුයේ අභිනවයෙන් නායක පදවිය ලැබූ විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්‍ෂ වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිරුවනේ එකම වස්තුව ලෙස විද්‍යාලංකාරිකයෝ කවදත් හිතන නිර්මල සර්වඥධාතූන් වහන්සේගේ ආශීර්වාදය ප්‍රථමයෙන්ම උන්වහන්සේට ලැබේවායි යන ප්‍රාර්ථනාව ඇතිවය.

විද්‍යාලංකාර භික්‍ෂූන්වහන්සේ කිසිදිනක තත්ත්ව තනතුරු තාන්නමාන්න හඹාගියේ නැත. එහෙත් තත්ත්ව තනතුරු උන්වහන්සේලා පසුපස කැරකැවිණි. එසේම තත්ත්ව තනතුරු හමුවේ පමණක් නොව ලාභ සත්කාර ඉදිරියේ ස්වකීය ප්‍රතිපත්තීන් පාවාදුන් බවක් අප විදුලකර ඉතිහාසයෙන් අසා හෝ කියවා නැත. කොටින්ම එවැනි පූර්වාදර්ශ අපට නැත. විද්‍යාලංකාර භික්‍ෂූන්වහන්සේට ජාතික ආගමික සාමාජික දේශපාලනික භාෂා ශාස්ත්‍ර මෙන්ම ධර්ම ශාස්ත්‍රීය සේවාවන් කිරීමට ඒ කිසිවක් අවශ්‍ය වූයේද නැත. එකී පූර්වාදර්ශය විද්‍යාලංකාරියන්ට අමතකද නැත.

1904 වර්ෂයේ ලංකාණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් හෙන්රි ආතර් බ්ලෙක් ආණ්ඩුකාරවරයා ධර්මාරාම හිමියන් කෙරෙහි පැහැදී උන්වහන්සේව රජගෙදරට වැඩමවා රන් මැඩලයක් දීමට සූදානම් වෙද්දී එය එකහෙළා ප්‍රතික්‍ෂේප කළ අවස්ථාවේ එතුමා නැවත එය ආයතනය වෙනුවෙන් භාරගන්නා ලෙසට කළ ඉල්ලීමක් පිළිබඳව අපගේ මතකය දිවයයි. එහිදී පිරුවන යන පොදු සාධකය තුළ පිහිටා එය භාරගෙන ඇත. විද්‍යාලංකාරය පුරාම එවැනි සිහිවටන රාශියක් ඇත. එවැනි අතීත සම්ප්‍රදායකට උරුමකම් කියන විද්‍යාලංකාරය අදත් එම අතීත උරුමය ස්වකීය හිසමතම රඳවාගනිමින් කටයුතු කරනු දැකීම විද්‍යාලංකාරික අප කාගේත් පැසසුමට පමණක් නොව අභිමානයටද කරුණක් වනු නොඅනුමානය.

වර්තමාන විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්‍ෂ, වැලමිටියාවේ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේද, මේ අවස්ථාවේ ලැබී තිබෙන ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගෞරවාභිධාන සම්මුතිය සහිත කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය තමන්ට නොව, එය විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේට කරනු ලබන ගෞරවයක් ලෙස සලකා බාරගෙන තිබීම අප කාගේත් අමන්දානන්දයට හේතු වන්නකි. ඒ වෙනුවෙන් මහ පෙරහැරවල් නැත. උත්සව සභා නැත. සාම්ප්‍රදායිකව කළ යුතුම දෙයත්, වර්තමානයේ නොකරම බැරි දෙයත් මිස වෙන කිසිවක් මෙහි නැත. ඒ නිසාම බොහෝදෙනෙක් මෙය නොදන්නවාද විය හැකිය.

වැලමිටියාවේ ඤාණරතන නාහිමියෝ, විද්‍යාලංකාර පිරුවනෙහි සත් වන පරිවේණාධිපතිව වැඩ විසූ ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයයි. වර්ග පටිපාටියෙන් විද්‍යාලඞ්කාර පිරුවනෙන් ධර්මශාස්ත්‍රොද්ග්‍රහණය කළ උන්වහන්සේ විද්‍යාලංකාරය සම්බන්ධ සියලු ආයතනයන්හි වර්තමාන නියමුවාණන් වහන්සේය.

උන්වහන්සේ තරුණය. උන්වහන්සේ විද්‍යාලංකාර ඉතිහාසය හොඳින් දනිති. විද්‍යාලංකාර සම්ප්‍රදාය හොඳින් අධ්‍යයනය කරති. එමෙන්ම විද්‍යාලංකාරයේ ගමන් මඟ කුමනාකාර වියයුතුද යන්න හොඳින් අවබෝධ කරගෙන සිටිති. එමෙන්ම උන්වහන්සේට දැක්මක් හා දර්ශනයක් තිබේ. එය අප අමුතුවෙන් කිවයුතු නැත. රටේ පැවිදි ගිහි බොහෝ දෙනෙක් මේවන විටත් උන්වහන්සේගේ චතුර කථිකත්වයත්, දේශන විලාසයත්, ඇවතුම් පැවතුම් පමණක් නොව අදහස් උදහස් පිළිබඳවත් හොඳින් අවබෝධ කරගෙන සිටිති. එහෙයින් අද අපි උන්වහන්සේ වර්ණනා නොකරමු. නොබෝ දිනකින් රටේ පැවිදි ගිහි හැමදෙනාම වර්තමාන විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්‍ෂ, අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතනාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කවුරුද යන වග කථාකරනු ඇත. එම දවස එනතුරු අපිද එමඟ බලා සිටිමු.

උඩගලදෙණියේ ධම්මවිමල
විද්‍යාලංකාර සභාවේ සහාය අධ්‍යක්ෂ විද්‍යාලංකාර සභාවේ සමලේකම්

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment