විද්‍යෝදය සාහිත්‍ය සම්මානයේ අරමුණ කිළිටි දේශපාලනයෙන් සාහිත්‍ය බේරා ගැනීමයි – මහාචාර්ය සුනිල් ආරියරත්න

418

මෙරට සාහිත්‍ය ප්‍රබෝධය පිණිස වසරකට වරක් පවත්වනු ලබන සාහිත්‍ය සම්මාන උළෙල කීපය අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය විසින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්ය. එය මෙවරත් සැප්. 01 (අද) දින පස්වරු 3.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුමංගල ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

විද්‍යෝදය සාහිත්‍ය සම්මානයේ අරමුණ කිළිටි දේශපාලනයෙන් සාහිත්‍ය බේරා ගැනීමයි - මහාචාර්ය සුනිල් ආරියරත්න


පහත පළවන්නේ මෙරට විකල්ප සාහිත්‍ය සම්මාන උළෙලක රික්තය සම්පූර්ණ කරනුවස් ආරම්භ කරන ලද විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය, සේවාවර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සමග සිදුකළ පිළිසඳරක්ය.

● විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ඇරඹුම සිද්ධවෙන්නෙ මොන ආකාරයෙන්ද?

 කලක පටන් විකල්ප සාහිත්‍ය සම්මාන උළෙලක අවශ්‍යතාවය දැනෙමින් පැවති වටපිටාවක, ඒ අඩුව සම්පූර්ණ කිරීමේ අරමුණින් තමයි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ආරම්භ කරන්නෙ. 2000 වර්ෂයේ තමයි ප්‍රථම වරට මෙම සම්මාන උළෙල පවත්වන්නෙ. විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ප්‍රදානය කිරීමට පෙර අපේ රටේ තිබුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පමණයි. විශාල ධනස්කන්දයක් වැය කරලා ඒ වගේම විශාල සම්පත් දායකයන් පිරිසක් සහිතවයි එය පවත්වන්නෙ. නමුත් අපිට එහෙම වටපිටාවක් පැවතුනේ නැහැ. එම නිසා අප තීරණය කරනව සීමිත තරග ඉසව් කීපයක් යටතේ නිර්මාණ ගෙන්වාගෙන එම කෘතීන් විනිශ්චයට ලක් කරල සම්මාන ප්‍රදානයක් සිද්ධ කරන්න.

● එවැනි සාහිත්‍ය සම්මාන උළෙලක් ආරම්භ කරන්න බලපෑ ආසන්නතම හේතුන් මොනවද?
 

 අරමුණු කීපයක් මුල්කර ගනිමින් තමයි විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ආරම්භ කරන්න අප තීරණය කරන්නෙ. පළමු දේ තමයි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පිළිබඳව එවක ඇතිවූ උකටලී කනස්සළු සහගත බව. මොකද රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කියන්නෙ කිළිටි දේශපාලන දෑත්වලට හසුවූ සංසිද්ධියක් බවට පත්වූ දෙයක් කියල ඒ වනවිට අප තේරුම් අරන් හිටිය. සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තමයි කලා මණ්ඩලය තිබෙන්නෙ. සිංහල සාහිත්‍ය අනුමණ්ඩලය කියන්නෙ ඒ යටතේ පවතින දෙයක්. එතකොට හැම අවස්ථාවකම වගේ සංස්කෘතික ඇමැතිතුමාගෙ මැතිවරණ බලප්‍රදේශයේ තමයි ජාතික සාහිත්‍ය උත්සවය පවත්වන්නෙ. එතනින්ම පේනව එය දේශපාලනිකයි කියල. කවුරු හෝ කෙනෙක් මේ කාරණය පිළිබඳ විධිමත් සමාලෝචනයක් කළොත් ඒ ඒ කාලපරිච්ඡේදවල සම්මානයට පත් කෘතීන් හරහා වුවත් කියන්න පුළුවන් ඒ ඒ කාලවල මේ රට පාලනය කළේ කුමන දේශපාලන පක්‍ෂය හෝ කණ්ඩායම විසින්ද කියල. නමුත් තවමත් එහෙම සමාලෝචනයක් සිදුවී නැහැ. අන්න ඒ දේශපාලනයේ කිළිටි දෑත්වලින් අපේ රටේ සාහිත්‍ය ගලවා ගැනීම විද්‍යෝදය සාහිත්‍ය උළෙලේ ප්‍රධානම අරමුණක් බවට පත්වුණා. ඊට අමතරව ගත්තොත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙත තව තවත් සාහිත්‍ය සමීප කරවීම, මේ රටේ දක්‍ෂ ලේඛකයන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර සමීප ඇසුරක් ගොඩනැංවීම ආදියත් මේ හරහා සැබෑවක් බවට පත්කර ගන්න අපට පුළුවන්කම ලැබුණ.

● මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැවති අඩුවක් සම්පූර්ණ කර ගැනීම එමගින් සිදුවූවද?
 

 පැහැදිලිවම… ඒ අඩුව යම් තරමකින් හෝ එමගින් සම්පූර්ණ වෙනව. මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ගත්විට ඒ වාසනාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පමණයි හිමි වන්නෙ. ඉන් අදහස් වෙන්නෙ අනිකුත් විශ්වවිද්‍යාල ඇතුලෙ සාහිත්‍යයට ඉඩක් නෑ කියන දෙය නොවෙයි. විfද්‍යාදය සාහිත්‍ය උත්සවය ආරම්භ කරන්න පෙර 1967 වර්ෂයේදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවත්වා තිබෙනව. මා දන්නා පරිදි ඊට පෙර මෙරට කිසිම විශ්වවිද්‍යාලයක් තුළ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවයක් පවත්වා නැහැ. නමුත් කුමන හෝ හේතුවක් මත රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල (1967) අපේ විශ්වවිද්‍යාලයේ පවත්වනව. එදා මූලාසනයේ ඉඳල තියෙන්නෙ කළුකොඳයාවේ පඤ්ඤාසේකර නායක හාමුදුරුවෝ. ප්‍රධාන ආරාධිතය හැටියට ඊරියගොල්ල ඇමැතිතුමා විශ්වවිද්‍යාලය ඇතුළට ඇවිත් තිබෙනව. එවර හොඳම නවකතාව ලෙස සම්මාන දිනාගන්නෙ කරුණාසේන ජයලත් විසින් රචිත ‘ගැහැනු ළමයි’ කියන නවකතාව. ඒ සම්මානය ගන්න එතුමත් විශ්වවිද්‍යාලය ඇතුළට එනව. ඊට අමතරව හොඳම චරිත කතාවට ඒ කාලයේ සම්මාන ප්‍රධානයක් සිද්ධ කරල තිබෙනව. එවර එම සම්මානය හිමි වෙන්නෙ ‘සිංහල නවකතාවේ පුරෝගාමියා’ කියන කෘතියට. එම කෘතිය රචනා කරනු ලබන්නේ කේ. එච්. ද සිල්වා මහත්මය. ඒ වගේම හොඳම ඉතිහාස හා සංස්කෘතික කෘතිය කියන සම්මාන ඉසව්වක් ඒ කාලයේ තිබිල තියෙනව. ඒ සඳහා සම්මානය දිනාගන්නෙ ‘සිංහල මහිමය’ කියන කෘතිය. එය රචනා කරනු ලබන්නෙ ඇම්. එච්. පීටර් සිල්වා මහත්මය. එපමණක් නොවෙයි. එම සම්මාන උළෙලට  සමගාමීව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේ ජාත්‍යන්තර පොත් පිට කවර ප්‍රදර්ශනයක් පවා සංවිධානය කරල තිබෙනව. ඒ අර්ථයෙන් ගත්විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන්නෙ සාහිත්‍යයත් එක්ක ලොකු බැඳීමක් පවතින තැනක්.

● විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ ඔබ දකින සුවිශේෂිතා මොනවද?

 මේ සම්මාන ප්‍රදානයත් එක්ක සාහිත්‍ය සම්මාන ප්‍රදානයක එතෙක් පැවති සම්ප්‍රදායික ලක්‍ෂණ කීපයක්ම වෙනස් වුණා. උදාහරණයක් ලෙස ගත්තොත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරල තීරකය හැංගිලා ඉන්නව. එවිට අපි දන්නෙ නෑ ඒ ඒ කෘතිය විනිශ්චයට ලක් කළේ කවුරුන් විසින්ද කුමන පදනමකින්ද කියල. විද්‍යෝදය සාහිත්‍ය සම්මාන කියන්නෙ එහෙම දෙයක් නොවෙයි. හොඳම නවකතාව ලෙස යම් කෘතියක් තෝරගත්ත කියමු. එතනදී තීරකය විසින් විනාඩි 10 ක පමණ දේශනයක් සිදුකරල තමයි ජයග්‍රාහකයාව ප්‍රකාශයට පත් කරන්නෙ. ඒ වගේම අදාළ වර්ෂයේ කොපමණ නවකතා ප්‍රමාණයක් මුද්‍රණය කරල තිබෙනවද? ඒ අතරින් නවකතා කොපමණ ප්‍රමාණයක් විනිශ්චයට ලක්කලාද? විනිශ්චයට ලක්කළ නවකතා අතරින් තෝරාගත් නවකතාව වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස තෝරා ගත්තෙ මොන මොන කාරණා සම්බන්ධව විමසිලිමත් වීමෙන් අනතුරුව ද කියල සමාලෝචනයක් එක්ක තමයි සම්මානයට පාත්‍ර වන ලේඛකයන්ව ප්‍රකාශයට පත් කරන්නෙ. නවකතාව, කෙටි කතාව, කවිය, තීරු ලිපිය මේ හැම දේකටම වෙන වෙනම තීරකය බැගින් ඉන්නව. ඒ තුළ සැඟවුණ කිසිවෙක් නෑ. ජයග්‍රාහී කෘතිය තෝරා ගැනීමේදී එය කවුරුන් විසින් විනිශ්චයට ලක් කළාද කියන පැනයට විසඳුමක් ලෙස තමයි එවැනි ක්‍රමවේදයක් තෝරා ගත්තෙ. ඇතැමුන් මෙම ක්‍රමවේදය අගය කළා. තවත් අයට යම් යම් විවේචන තිබුණ. ඒ සෑම දේකටම ඉඩකඩ විවර කරන්න තමයි විද්‍යෝදය සාහිත්‍ය සම්මානයේ ආරම්භයේ සිට එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්නෙ.

● ඒකපුද්ගල විනිශ්චයක් මගින් පමණක් සාහිත්‍ය කෘතියක් නිවැරැදිව විනිශ්චය කළ හැකිද?
 

 යම් තරග ඉසව්වකින් ජයග්‍රහණය කරන ලේඛකයා හෝ ලේඛිකාව ප්‍රකාශයට පත් කිරීමේදී එම තීරණයේ හරි වැරැද්ද භාරගැනීම පිණිස තමයි විනිශ්චය සඳහා සහභාගි වන ප්‍රධානිය ඒ සඳහා පෙනී සිටින්නෙ. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත කුඩා කමිටුවක් විසින් කතිකා කරල තමයි ඒ ඒ කෘතියට අදාළව අවසන් තීරණයට එළඹෙන්නෙ. මේ වෙලාවෙ මට මතක් වෙනව “සෙංකොට්ටං” කියන තරුණ නවකතාව පළමුවෙන්ම හඳුනාගන්නෙ විද්‍යෝදය සම්මානයෙදි. ඒ මගින් තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන නවකතා කරු කරළියට එන්නෙ. ඒ වනවිට ඒකපුද්ගල විනිශ්චයක් තිබුණ බව ඇත්ත. ඉන් පසුව බොහෝ සම්මාන උළෙලවල් හිදී මේ නවකතාව සම්මානයට පාත්‍ර වෙනව. ඒ සියල්ලට පෙර අප විසින් ලබාදුන් විනිශ්චය නිවැරැදියි කියන එක ඉන් ගම්‍ය වෙනව. එම නිසා කෘතියක් විනිශ්චය පිණිස වාඩිවෙන පිරිස සංඛ්‍යාවෙන් කොපමණ ද කියන කාරණය වැදගත් වෙන්නෙ නෑ. විශාල පිරිසක් එකතුවෙලා විනිශ්චය කළ වෙනත් නවකතාවක් එම වර්ෂයේ පැවැත්වූ වෙනත් ප්‍රධාන සම්මාන උළෙලකදී වසරේ හොඳම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර කළා. නමුත් එම නවකතාව බොහෝ අඩුපාඩු සහිත නවකතාවක්. සාහිත්‍ය සමාජය ඇතුළෙ ඒ සම්බන්ධව එකල බොහෝ විවේචන ආදියත් පැවතුණා. සාහිත්‍ය සම්මාන උළෙලකදී වැදගත් වෙන්නෙ හොඳ විනිශ්චයක් ලබාදීම පමණයි. එම විනිශ්චය ඒකල ද සමූහද කියන කාරණය නොවැදගත් දෙයක් ලෙසයි මා දකින්නෙ. අද පවත්වන්නෙ 13 වන විfද්‍යාදය සම්මාන උළෙල. මේ සම්මාන උළෙලවල් පිළිබඳ සමාලෝචනයක් සිදු කළොත් මේ දක්වා අපි 95% පමණ නිවැරදි විනිශ්චයක් ලබාදීල තිබෙන බව දැක බලාගන්න පුළුවන්කම ලැබෙයි.

● විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ඇතැම් වසරවල පවත්වන්නට යෙදුනෙ නැහැ. ඊට හේතුව බවට පත්වුණේ නිර්මාණාත්මක කෘතීන් නොලැබී යෑමක්ද එසේත් නැත්නම් සංවිධානයේදී සිදුවූ යම් අතපසු වීමක්ද?
 

 ඔව්. 2000 වර්ෂයේදී තමයි මුල්වරට මෙය සංවිධානය වන්නෙ. දැන් අපි ඉන්නෙ 2022 වර්ෂයේ. අද පවත්වන්නෙ 13 වැනි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය. මෙය ආරම්භ කරල වසර 03ක් ගතවීමත් එක්ක එවකට හිටිය උපකුලපතිවරය මේක තහනම් කරනව. ඉන් අනතුරුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කරල වසර 50ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නැවත විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ආරම්භ කරනව. එහි සම්පූර්ණ ගෞරවය එවකට සිටි උපකුලපතිතුමා වූ ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහත්මයට හිමි වෙනව. එතනදි අපිට හැකියාව ලැබෙනව අලුත් සම්මාන ඉසව්වක් ආරම්භ කරන්න. ඒ තමයි පුවත්පත් ලිපි නොහොත් තීරු ලිපි සඳහා සම්මාන පිරිනැමීම. ඒක අභියෝගාත්මක තීන්දුවක්. මොකද රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය පත් කරන්නෙ එක් පුවත්පත් කලාවේදියෙක් ඇතුළු තවත් පිරිසකගෙන් සමන්විතවයි. අදත් ඒ සංයුතිය වෙනස් වෙලා නැහැ. නමුත් මේ හැම පත්‍රකලා වේදියකුටම පුවත්පත් ලිපි අසාත්මිකයි. පුවත්පතක පළවූ ලිපියක් නැවත යම් කෘතියකට ඇතුළත් කරල තිබුණොත් ඔවුන් ඒක කුණු කූඩයට දානව. ඒ අය හිතනව ඇති පුවත්පත්වල පළවෙන්නෙ නිසරු ලිපි කියල. මේ විශාල වරද අපි දැක්ක. ඒ නිසා අපි තීරණයක් ගත්ත එතැන් සිට පුවත්පත් තීරු ලිපි සඳහා සම්මාන ප්‍රදානයක් සිදුකරන්න. ඒ අවුරුද්දෙ සම සම්මානලාභීන් දෙදෙනෙක් තෝර ගත්ත. “කේරළ නළඟන” කියන නීල් විජේරත්නගේ කෘතිය සහ ‘පෙරළිකතා’ නමින් ගාමිණී සුමනසේකර විසින් රචිත කෘතීන් සඳහා එවර සම්මාන ප්‍රදානයක් සිද්ධ කළා. මෙහි දෛවෝපගත සිද්ධිය තමයි එම සම සම්මානය ඇතුලෙ පුවත්පත් ප්‍රධාන කර්තෘවරයෙක් සිටීම. ඔහු තමයි එවකට දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ධුරය දැරූ ගාමිණී සුමනසේකර මහතා. මේ ඉසව්ව අගය කරමින් එවක ප්‍රධාන පුවත්පත් කීපයකම ලිපි පවා පළවුණා.

 අද පවා රාජ්‍ය සාහිත්‍ය සම්මානය කොතරම් ආචීර්ණකල්පිතද කියනව නම් සාහිත්‍ය අනුමණ්ඩලය මේ ඉසව්වට අත තියන්නෙවත් නෑ. නමුත් විfiා්දයෙන් පසුව ගොඩගේ සම්මාන උළෙලටත් මේ ඉසව්ව ඇතුළත් කරනව. ඊට පස්සෙ තීරු ලිපි එකතු ප්‍රශස්ත කෘතීන් ලෙස මුද්‍රණය වෙන්න ගත්ත. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහත්තය විසින් රචිත ‘වගතුග’ නමින් සඳහන් ලිපි සංග්‍රහය ඔහුගේ පුතණුවන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ සඳහාත් විද්‍යෝදය සම්මානය පිරිනමනව. මා විශ්වාස කරන මානවසිංහ මහත්තය මියගොස් වසර පනහක් හැටක් ගතවූ පසුවයි එය සිද්ධ වෙන්නෙ. ඒකෙන් පේනව එතෙක් කලක් එවැනි දෙයක් අගයන්න ක්‍රමයක් තිබුණෙ නෑ කියන දෙය.

● පොදුවේ ගත් කල වසරකට වරක් පවත්වනු ලබන සාහිත්‍ය සම්මාන උත්සව පිළිබඳ ඔබගේ පෞද්ගලික අදහස කුමක්ද?
 

 සැප්තැම්බර් මාසය මුල්කර ගනිමින් රටේ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇතිවීම පිණිස ප්‍රබල ලෙස බලපෑවෙ සාහිත්‍ය සම්මාන උළෙලවල් බව රහසක් නොවෙයි. අපේ රටේ පවත්වන ප්‍රධාන සාහිත්‍ය උළෙල කීපය ගත්විට ඒ හැම එකක්ම සංවිධානය කරන්නෙ සාහිත්‍යය කෙරෙහි පවතින ළැදියාව හේතුවෙන් බව සඳහන් කළ යුතුයි. ගොඩගේ මහත්මය තමන්ගෙ පුද්ගලික ධනය වියදම් කරල මේ වගේ සද්කාර්යයක් කරන්නෙ ඒ නිසයි. ඇතැමුන් චෝදනා කරනව මෙය පරණ පොත් අලෙවි කරන්න ප්‍රකාශකයන් විසින් දරන උත්සාහයක් කියල. එය වැරදි සහ හරිම කාලකණ්ණි සහගත ප්‍රකාශයක්. රාජ්‍ය සාහිත්‍ය උළෙල තුළින් දේශපාලනික මුහුණුවරක් එළියට පැන්නට 1959 වර්ෂයේ පටන් මේ දක්වා විශාල ලේඛකයන් පිරිසක් එළියට ආව. ඒ වගේම ගොඩගේ, ස්වර්ණ පුස්තක, රජත පුස්තක මේ හැම දේකින්ම ඒ දෙයම සිද්ධ වෙනව. පොත් ප්‍රකාශකයන් කියන්නෙ තීන්ත හා කඩදාසි සමග ජීවත්වන මහත්වරුන් පිරිසක්. රටක් ඥානනය කරන්න ඒ අය ලොකු වෙහෙසක් ගන්නව. පොතක් අලෙවි වන තරමට තමයි නව පොතක් එළියට එන්නෙ. ඔබ විසින් නගන ලද පැනයට පිළිතුරක් ලෙස මට දෙන්න තිබෙන්නෙ තමන්ගේ කෘතියක් සඳහා යම් ඇගැයීමක් ලැබෙනව නම් එය ඕනෑම ලේඛකයකුගේ නිර්මාණ ජීවිතයට ලොකු ආලෝකයක් වගේම ශක්තියක් බවට පත්වෙනව. කවුරුහරි කියනවනම් අපට සම්මාන වැඩක් නැහැ කියල ඒ ප්‍රකාශය බොරුවක්.

 ● සාකච්ඡා කළේ  රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment