විදුලකර බැබළවූ පිරිවෙන්පති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි

494

රටට, ජාතියට හා ආගම දහමට මෙන්ම අපේ භාෂා ශාස්ත‍්‍රවලට අනුපමේය සේවාවක් කළ හැකි මහා යුග පුරුෂයන් සිය දහස් ගණනක් බිහිකළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ නියමුවරයාණෝ සත්දෙනෙක් වෙති.

වර්ෂ 1950 දි පෑලියගොඩ විද්‍යාලංකාර පුණ්‍ය භූමියට පය තැබූ ටිකිරිබණ්ඩා බහ තෝරන වියේ පටන් ආගම දහම විහාරස්ථානය කෙරෙහි මහත් ලෙන්ගතුකමකින් පසු වූ අයෙකි. මලියදේව මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ඇති වැලමිටියාව විහාරේගම රජමහා විහාරස්ථානය ආශ‍්‍රය නිශ‍්‍රය කරමින් කෙළිදෙලෙන් පසු වූ මෙම හුරුබුහුටි කුමරුවා එවකට විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂවරයාණන් වූ අති ගෞරවාර්හ යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නෙත ගැටී ඇත. දුරදක්නා සුවිශේෂ කුසලතාවයකින් යුතු, විද්‍යාලංකාර පිරිවෙනේ අභිවර්ධනය උදෙසා දිවා රෑ වෙහෙස මහන්සි නොබලා සිය ජීවිතයම කැප කළ යක්කඩුවේ නායක හාමුදුරුවෝ ගමේ පන්සලේ පැවැදි කිරීමට නම් නියමව සිටි ටිකිරිබණ්ඩා කුල කුමරුවා විහාරේගම රජමහා විහාරාධිපති ගරු කටයුතු හුරුග්ගමුවේ ගුණරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුදැනුම ඇතිව විද්‍යාලංකාර පිරිවෙනට කැඳවාගෙන ආහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ප‍්‍රාචීන හා බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය වශයෙන් අධ්‍යාපනයට පමණක් නොව ශාසනික වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉසිලූ පින්බිමක්ද වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනාකොට වදාළ මුළු මහත් ධර්මය (ත‍්‍රිපිටිකය) නොකඩවා වසර තුනකුත් මාස පහයි දවස් පහළොවක් සංගායනා කළ වකවානුව වූ 1950 වසරේදී වැලමිටියාමේ කුසලධම්ම නායක හාමුදුරුවෝ ගිහි ළමයෙකු වශයෙන් මේ පින් බිමට පය තැබූ වකවානුව ද වේ.

වසර හතරක පමණ කාලයක් පැවිදි බිමට පෙර ඒ සඳහා වත් පිළිවෙත්, ආචාර ධර්ම හා උපාධ්‍යාය වත් මැනවින් පුරුදු පුහුණු වූ ටිකිරි බණ්ඩා කුල කුමරුවා වර්ෂ 1954 ජනවාරි මස 07 වෙනිදා තවත් සහෝදර තරුණයන් නව දෙනකු සමග ‘‘….අතීත විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේලා පවත්වාගෙන ආ ආචාර්ය සම්ප‍්‍රදායයන් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා…..’’

තත් පරිවේණාධීශ්වර, කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපති පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් පැවිදි බිමට පත්වූහ.

වර්ෂ 1983 දී පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් උප පරිවේනාධිපති ධුරයටත්, විද්‍යාලංකාර සභාවේ පිරිවෙන් අධ්‍යක්‍ෂ ධුරයටත්, පත්වූ ගරුතර වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අතිගරු නාත්තන්ඩියේ ශ‍්‍රී ප‍්‍රඥාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයටත් පත්විය. ඒ වර්ෂ 1989 දීය.

වර්තමාන විද්‍යාලංකාර පිරිවෙනේ නියමුවාණන් හැටියට ලංකාවේ සතරදිග් භාගයේම විවිධ පින්කම් උත්සව සඳහා නිතරම වැඩමකරන වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවෝ ඒ සෑම අවස්ථාවකදීම තම ගුරුවරුන් සිහිපත් කිරීමට අමතක නොකරති. වර්ෂ 1986 මාර්ත ු- මස 01 වෙනිදා තමන් වහන්සේ ඇතුළු පැවිදි සහෝදර පිරිස ඇති දැඩි කරමින් හදාවඩා ගත් අතිගරු යක්කඩුවේ නායක හාමුදුරුවෝ අපවත් වූහ. බෞද්ධ සම්ප‍්‍රදානුයානුකූලව සියලූම ආගමික හා පින්කම් කටයුතු නොපිරිහෙලා ඉටුකරමින් වර්ෂ පූර්ණ පින්කමද සිදු කළහ.

වයස අවුරුදු 17 වැනි හිරිමල් තරුණ අවධියේදී පැවිදි බිමට පිළිපන් කුසලධම්ම නාහිමියෝ තම මව්පියන් පිළිබඳව මහත් සෙනෙහසින් කටයුතු කරන යතිවරයාණ කෙනෙකුන් වෙති. පී. ඒ. ජෝන් සිංඤෝ තම පියාත් ආර්. එම්. ගුණමල්ඵතනා තම මවත් සිය ජීවිතවල අවසාන භාගය වූ වසර තිහක පමණ කාලයක් නිරන්තරයෙන් සුදු ඇඳුමින් සැරසී ගිහි දසසිල් සමාදන්ව භාවනානුයෝගීව ජීවිතය අවසන් කළ මහ පිනැතියෝ වෙති. වයස අවුරුදු 92 ක පමණ කාලයක් ආයු වළඳා පරලෝ සැපත් තම දයාබර මෑණියන් බැහැදැකීම සඳහා සතියකට වතාවක් නාරම්මලට වැඩම කරන නාහිමියෝ තම මවගේ සෑම ඕනෑ එපාකමක්ම සපුරාලමින් තම ගෝලබාලාදීන්ට පමණක් නොව දකින කියන අසන අයට පවා මව්පිය උපස්ථානය ප‍්‍රායෝගිව ඉගැන්වීමක් හැටියට විශේෂයෙන් සඳහන් කළ යුතුය.

  • ආගමික හා සාමාජික සේවා

වර්ෂ 1983 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ උප පරිවේණාධිපති වශයෙන්ද විද්‍යාලංකාර සභාවේ පිරිවෙන් අධ්‍යක්‍ෂ වශයෙන් පත්වීමටත් පෙර සිට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන, කුලියාපිටිය කෝන්ගහගෙදර විහාරස්ථානය ආදී පිරිවෙනට අයත් විද්‍යාලංකාර ආයතනයන්හි විවිධ ආගමික හා සාමාජික සේවා සංවිධානය කරමින් පොදුජන යහපත හා සුවසෙත උදෙසා තත්ත්පර වූ නාහිමියෝ කිසිවිටෙකත් තම සුඛ විහරණය පමණක් අපේ්ක්ෂා නොකළ යතිවරයාණ කෙනෙක් වෙත්. වර්ෂ 1989 විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති වශයෙන් පත්වූ නාහිමියෝ පිරිවෙනටත් පිරිවෙනේ පිරිසටත් එතෙක් පැවැති කළණ මිතුරු බව දෙගුණ තෙගුණ කොට විද්‍යාලංකාර ආයතයනයන්හි හා ඒවායේ කටයුතු කරන පිරිසගේ එකම ආරක්ෂකයා හා කල්‍යාණ මිත‍්‍රයා දැන් තමන් වහන්සේම බව කිසිවිටෙකත් අමතක නොකළහ.

වර්ෂ 1954 දී විද්‍යාලංකාර පිරිවෙන් භූමියේ ප‍්‍රව‍්‍රජ්‍යා භූමියට ඇතුළත්වූ අප නාහිමියන් පිරිවෙනට කැඳවාගෙන ආවේද ගුණ නුවන පාදමින් පිරිවෙනටත්, පිරිවෙනේ පිරිසටත් හිතවත්ව යහපත් භික්ෂු ආකල්පයන්ගෙන් පිරිපුන්ව රටට, සමාජයට ආගමට දහමට දැනෙන වැඩක් කළ හැකි පූර්ණ පුද්ගලයකු බවට පත් කළේද විද්‍යාලංකාර පරිවේනාධිපතිව වැඩවිසූ අතිගරු යක්කඩුවේ නායක හාමුදුරුවන් බව අපි දනිමු. කුසලධම්ම නායක හාමුදුරුවන්ගේ සිතුම් පැතුම් හා ආකල්පාදියෙන් උන්වහන්සේ පැවිදි කළ දින ප‍්‍රසිද්ධ කළ දැන්වීමේ වැකිය අමතක නොකිරීමෙන්ම ඒ බව පැහැදිළිය. නාහිමියන්ගේ සියලූ ඇවතුම්, පැවතුම් අතීත විද්‍යාලංකාර ආදි පුරුෂයන්ගේ ශ‍්‍රී නාමයට මහත්වූ ගෞරව ප‍්‍රසාද පූජාවකි.

අතිගරු යක්කඩුවේ නායක ස්වාමීන්‍්‍රයන් වහන්සේ අපවත්වී වසරක් සපිරෙන දින පුණ්‍යානුමෝදනා උත්සවයක් සංවිධානය කළ කුසලධම්ම නායක හාමුදුරුවෝ අපවත්වී වදාළ අතීත විද්‍යාලංකාර පරිවේනාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පිරිවෙන ආරක්ෂා කළ, පෝෂණය කළ සියලූ දෙනාට කළගුණ සැලකීම සඳහා විද්‍යාලංකාර පිරිවෙන උපන් දවසේ විද්‍යාලංකාර දිනය නමින් කළගුණ සැලකීමේ මහා පුණ්‍යෝත්සවයක් වාර්ෂිකව පැවැත්වීමට අදිටන් කර ගත්හ. එවක් පටන් මේ දක්වා සෑම වසරක් පාසාම අඛණ්ඩව විද්‍යාලංකාර දිනය පිරිවෙනේදී සංවිධානය කළ අතර ඒ සඳහා පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය පිරිසගේ නොමද සහයද ලැබෙයි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන අද රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජීවත්වන විද්‍යාස්ථානයකි. ජාතික වශයෙන්, ආගමික වශයෙන්, සාමාජික වශයෙන් උත්සවශ‍්‍රීයෙන් සිදු කරන මේ රටේ සෑම වැඩකම විද්‍යාලංකාර පිරිවෙන නියෝජනය වන්නේ ගරුතර වැලමිටියාවේ ශ‍්‍රී කුසළධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාමය. රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය, ආගමික කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ආදී රාජ්‍ය ආයතනවල අනුශාසක හා උපදේශන කමිටු නියෝජනය කරන අප නාහිමියෝ ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් රට පුරා ක‍්‍රියාත්මක කොට පවත්වාගෙන යන භික්ෂුන් වහන්සේගේ මූලික පුහුණු මධ්‍යස්ථානය වන ‘සාමණේර ආයතන’ ආරම්භ කිරීමේ පුරෝගාමියාත්, එහි අධීක්‍ෂණ මණ්ඩලයේ සභාපතිවරයාත් අපේ නායක හාමුදුරුවෝම වෙති.

වැලමිටියාවේ ශ‍්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැරූ තනතුරු අතර

  1. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති
  2. විද්‍යාලංකාර සභාවේ පිරිවෙන් අධ්‍යක්‍ෂ
  3. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති
  4. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ කෘත්‍යාධිකාරී
  5. නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරිවෙනේ කෘත්‍යාධිකාරී
  6. දෙමටගොඩ විද්‍යාලංකාර අධ්‍යාපන පීඨයේ කෘත්‍යාධිකාරී
  7. අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර මහරත්මලේ ශ‍්‍රී නාගරජමහා විහාරය ඇතුළු විද්‍යාලංකාර පිරිවෙනට අයත් විහාරස්ථාන තිස්තුනක විහාරාධිපති
  8. කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක
  9. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති

10 ජාත්‍යන්තර බුද්ධරංශි සංවිධානයේ (ශ‍්‍රී ලංකා) සභාපති ආදී වේ. මේ ආදී වූ බොහෝ තනතුරුවලට අමතරව තවත් තනතුරු රාශියක් උන්වහන්සේ දරා සිටියහ.

උන්වහන්සේට විශේෂ වශයෙන් සඳහන් කළ හැකි ගෞරව සම්මාන උපාධි කිහිපයක් තිබේ. මේ ඇගයීම් අපේ නායක හාමුදුරුවෝ සොයාගෙන ගිය ඒවා නොව උන්වහන්සේගේ සේවය නිසා එතුමන් වෙත සපැමිණි සම්මාන බව අපි හොඳින්ම දනිමු.

පිරිවෙනේ අනාගත සංරක්‍ෂණය සඳහා උන්වහන්සේගේ අපේක්‍ෂාව වුයේ ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිකිරීමයි. මේ පිළිබඳව විද්‍යාලංකාර සභාව දැනුවත් කොට අවශ්‍ය මූලික පියවර ගත් අතර වසරින් වසර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිකිරීම පමා විය. ඉන් පසු වර්තමාන ජනාධිපති අපේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දී ආශිර්වාද ලබා ගැනීමට පිරිවෙනට පැමිණි අවස්ථාවේ දී ශ‍්‍රී ලංකා රජය පිරිවෙනේ ණයක් ගෙවීමට ඇති නිසා තමන් ජනාධිපති වූ වහා එම ණය ගෙවා දමන බව පොරොන්දු විය. ඒ අනුව එතුමා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වශයෙන් තේරී පත් වූ වහා අතිගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙම බලාපොරොත්තුව ඉටුකර දීමේ ක‍්‍රියාවලියට මුල පිරීය. ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 71 වැනි ජන්ම දිනය යෙදී තිබූ 2006 පෙබරවාරි 20 වැනිදා අපේ ජනාධිපතිතුමා ප‍්‍රධාන මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සම්මන්ත‍්‍රණ ශාලාවට මුල්ගල තබා වැඩ ආරම්භ කළේය. දැන් එහි කටයුතු කඩිනමින් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සිදුවෙමින් පවතී.

ශ‍්‍රී ලාංකිකයෙක් හැටියට රටටත්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හැටියට ආගම දහමටත්, මනුෂ්‍යයන් හැටියට මිනිස්කමටත් ආදරය කරන අප නාහිමිපාණන් වහන්සේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශවත් ජීවිතයක් ගත කරන තේරුවන් කෙරෙහි අප‍්‍රමාණ භක්ත්‍යාදරයක් ඇති යතිවරයන් වහන්සේ නමකි. නොකඩවා වසර තිහකට වැඩි කලක් ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගන්නා වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ තෙරුවන් සිහිකොටම පිරිවෙනින් බැහැර වඩිති. සැතපෙති. අවදිවෙති. නිරතුරුවම ගුරු දෙගුරුන් සිහිකරති. පින්දෙති. ආශීර්වාදය පතති.

ඒ උන්වහන්සේ ජිවත්ව සිටියදී ප‍්‍රගුණ කළ උතුම් චර්යාවයි.

ආචාර්ය තුඹුල්ලේ
සීලක්ඛන්ධ නායක ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment