විදුලිබලේ සභාපති ඉල්ලා අස්වී යට ගැසූ ඇත්ත

1130

අදානි සමාගම වෙනුවෙන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පෙනී සිටීම සම්බන්ධයෙන් කිසිවෙකු පුදුම විය යුතු නැත. ගුජරාට් ප්‍රාන්තයේ වැඩිම ජනගහනයක් ඇති අහමදාබාද් තම මූලස්ථානය කරගත් ගෞතම් අදානි මෝදිගේ ඉතාමත් විශ්වාසවන්ත මිත්‍රයෙකි. ගුජරාට් ප්‍රාන්තයේ 2001 සිට 2014 දක්වා මහඇමති වූ මෝදි භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස 2014 මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ගෞතම් අදානි කළ මූල්‍යම දායකත්වය එදා ඉන්දීය දේශපාලන භූමිය රත් කළේය.

මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව ගුජරාට් සිට මෝදි නව දිල්ලියට පියාසර කළේ ගෞතම් අදානිට අයත් ගුවන් යානයකිනි. ඒ 2014 මහා මැතිවරණ ව්‍යාපාරයට ගෞතම් අදානිට අයත් ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් දෙකක් නොමිලේ පාවිච්චි කළ බවට දේශපාලන විපක්ෂය චෝදනා කළ පසුබිමක් යටතේ ය.

ලෝකයේම ධනවත් පුද්ගලයකු ලෙස සැලකෙන රිලායන්ස් සමාගමේ හිමිකරු වන මුකේෂ් අම්බානි මෙන්ම ගෞතම් අදානි සහ මෝදි ද ගුජරාට් වැසියන්ය. එම ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ වේගවත් නැගීම විමසා බැලිය යුතු වන්නේ මෝදි 2014 අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම ද සැලකිල්ලට ගැනීමෙනි. ඇත්ත වශයෙන්ම අදානි වෙනුවෙන් මෝදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බලපෑම් වූ කළ බවට එල්ල වූ චෝදනාව ඉන්දීය විපක්ෂයට වාසිදායක ය.

තෝරාගත් ව්‍යාපාරිකයන් වෙනුවෙන් රාජ්‍ය නායකයන් පෙනී සිටීම අරුමයක් නොවේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව මෙහෙයවූ සියලුම දේශපාලන පක්ෂවලට අදාළය. වර්තමාන පොහොට්ටු ආණ්ඩුවටත් තෝරාගත් ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින බවට චෝදනා ඇත. ශ්‍රී ලංකාව අන්තයටම වැට්ටවූ රුපියල් බිලියන 600 අහිමි කරගත් බදු සහනය 2020 ලබා දුන්නේ පොහොට්ටු ආණ්ඩුවයි. වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් යහපාලන රජය මහ බැංකුවට දෙවරක් කෙළියේ ඒ ආකාරයටමය.

ඉන්දියාවේ අදානි සමාගම ‘කලකිරීමට’ අපූරු අර්ථකතනයක් දී ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගා වොට් 500 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් (Adani Green Energy) සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවකදී විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම් . සී. ෆර්ඩිනැන්ඩෝ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා තමන් මහත් කලකිරීමකට පත්වූ බව එම සමාගම ප්‍රකාශ කර ඇත.

විදුලිබලේ සභාපති ඉල්ලා අස්වී යට ගැසූ ඇත්ත

ගෞතම් අදානි කලකිරීමට පත්විය යුතු නොවේ. අදානි සමාගම වෙනුවෙන් මෝදි ඉන්දියාව තුළ පෙනී සිටිය ආකාරයටම පෝක් සමුද්‍ර සන්ධියෙන් එපිට ද පෙනී සිටීම පිළිබඳව ඔහු සතුටු විය යුතුය. ශ්‍රී ලංකාවේ කළ මැදිහත් වීම ගෞතම් අදානි වෙනුවෙන් මෝදි විදේශයකදී පෙනී සිටිය පළමුවන අවස්ථාව විය නොහැක.

ගෞතම් අදානි කම්පා විය යුත්තේ මෝදි අවශ්‍ය බලපෑම නොකළා නම් පමණි. අප මෙහිදී තේරුම් ගත යුත්තේ ගෞතම් අදානි ඉටු කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවයයි. සත්‍යය එයයි.

මන්නාරමේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති එම ව්‍යාපෘතිය කුප්‍රකට අදානි සමාගමට ලබාදීමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑමක් කළ බවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ජුනි 10 වැනි දින පාර්ලිමේන්තුවේදී සිනහවෙමින් ප්‍රකාශ කළේය.

ඔහු ජුනි 13 දින තම ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල ඇමැති කංචන විජේසේකරට භාර දුන්නේය. තමන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම භාරගත් බව අමාත්‍යවරයා පවසා ඇත. සභාපතිවරයා කැමැත්තෙන් ඉල්ලා අස්වූවාද නැතහොත් ඉල්ලා අස්වීමට සිදුවූවාද?

හිටපු සභාපතිවරයා ඉතාමත් සැහැල්ලුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව) නැගූ අදාළ ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරය පාර්ලිමේන්තුව නිකුත් කළ වීඩියෝ පටයේ ඇත. එම සාක්ෂිය ප්‍රතික්ෂේප කළ නොහැක. එය දකින යමෙකුට ජුනි 10 කළ හෙළිදරව්ව සිතා මතා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස පවා හුවා දැක්වීමට හැකිය.

යම් කිසි පාර්ශ්වයක් ඔහුව පෙළඹුවාද? නැතහොත් ඔහුට බලපෑමක් කළාද? ෆර්ඩිනැන්ඩෝ අපූරුවට රඟපෑවේය. නමුත් තිර පිටපත කාගේද?

පොදු ව්‍යාපාර පිළිබඳ කොමිටිය කළ ප්‍රශ්න කිරීම හේතුවෙන් ඇතිවූ බලපෑම හේතුවෙන් තමන් එලෙස ප්‍රකාශයක් කිරීමට පෙළඹුන බව ඔහු පවසා ඇත. මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් අපට ද ඇතිවන්නේ කලකිරීමකි. පොහොට්ටු ආණ්ඩුවේ අතිශය වගකීම් විරහිත, දූෂිත එමෙන්ම අසාර්ථක පාලන තන්ත්‍රය සමස්ත ජනතාවම මහත් කලකිරීමකට පත්කර ඇත. අදානිගේ කලකිරීම සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ කලකිරීම කිසිසේත් සමාන කළ නොහැක.

ෆර්ඩිනැන්ඩෝට කිසිදු ප්‍රශ්නයක් නැත. කලකිරීමට හේතුවක් ද නැත. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට තමන් බලපෑමක් නොකළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් පසුව විශ්‍රාමික එම නිලධාරියා ඉල්ලා අස්විය. හැත්තෑ පස්වෙනි වියේ පසුවන එම විශ්‍රාමිකයා පොහොට්ටු ආණ්ඩුවේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍යම පුද්ගලයෙකි. යුගදනවි බලාගාරය ඇමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගමට 2021 සැප්තැම්බර් 17 දින මහා රෑ අත්සන් කිරීමේ මෙහෙයුමේ සිටි ඔහු එම ආන්දෝලනාත්මක ගිවිසුමට ද පාර්ශ්වකරුවෙක් විය. ඒ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නොවේ. මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙසය. සුළං විදුලි බලාගාර ව්‍යාපෘති කෙළිය ක්‍රියාත්මක වන්නේ යුගදනවි බලාගාරය අත්පත් කර ගන්නා ආකාරයටම බව අමුතුවෙන් කිව යුතු නැත. එවකට කොළඹ සිටි ඇමෙරිකානු තානාපතිවරිය ඇලෙනා ටිප්ලිට්ස් රජයට ඍජුවම බලපෑම් කළ බව රහසක් නොවේ.

යුගදනවි කෙළියේද කොටස්කරුවකු වූ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගලට 2021 නොවැම්බර් 25 දින ෆර්ඩිනැන්ඩෝ ලිවූ රාජකාරි ලිපිය ඉතාමත් වැදගත්ය.

ඒ ජනාධිපතිවරයා තමන්ට 2021 නොවැම්බර් 24 දින බලපෑම් කළ බවට චරිත හේරත් මන්ත්‍රීවරයා නායකත්වය දෙන පොදු ව්‍යාපාර කමිටුවේ ප්‍රකාශයක් කර ඇති පසුබිම තුළය. කළ ප්‍රකාශ ඉල්ලා අස්කර ගත හැක. නමුත් සත්‍යය කණපිට හැරන්නේ නැත. ඇත්ත වශයෙන්ම සුළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙන්ම සමස්ත ආයෝජන ක්‍රියාවලිය ද ඉතාමත් ගැටලුකාරී බවයි. ආර්ථිකය කඩා වැටීම තුළ විදේශීය බලපෑම් තීරණාත්මක ලෙස වර්ධනය වී ඇත. මන්නාරමේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ෆර්ඩිනැන්ඩෝ කළ හෙළිදරව්ව ශ්‍රී ලංකාව පත්වී ඇති අර්බුදකාරී තත්ත්වය නැවත නැවතත් අවධාරණය කරයි.

ඉන්දියානු අගමැතිවරයාද ලජ්ජාවට පත්වී ඇත. තම සගයෙකු වූ ගෞතම් අදානි වෙනුවෙන් මෝදි ශ්‍රී ලංකාවට කළ බලපෑම ඉන්දියානු පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත රැව් පිළිරැව් දෙනු ඇත.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක වූයේ ඇයි? ඉන්දු -ලංකා සම්බන්ධතා පළුදු කළ හැකි චෝදනාවක් දේශපාලන භූමිය උණුසුම් කර ඇති මෙම අවස්ථාවේ මෙම ලියුම්කරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගෙන් විමසා සිටියේ පවතින නීතිමය තත්ත්වය තුළ නිසියාකාරව තීන්දු තීරණ ගෙන නිවැරදිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් පිළිබඳව එතුමන් දැනුවත් වී ඇතිද? පිළිතුර නැත. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් නොවේද?

විදුලිබලේ සභාපති ඉල්ලා අස්වී යට ගැසූ ඇත්ත

කවුරු බලයේ සිටියත් ශ්‍රී ලංකාවේ සමස්ත පිරිහීම වේගයෙන් සිදු වී ඇත. පාර්ලිමේන්තු කාරක සභාවලින් නිරන්තරයෙන් හෙළිදරව් වන්නේ මහජන නියෝජිතයින්ගේ පූර්ණ ආරක්ෂාව නොමැතිව ඉහළ නිලධාරී පැලැන්තිය ක්‍රියාත්මක කර ඇති දූෂිත ක්‍රියාවලියයි. කිසිදු අවහිරයකින් තොරව පූර්ණ රාජ්‍ය ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකාවට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් අහිමි කරන සියලු දූෂණ, අක්‍රමිකතා සිදුවෙමින් පවතියි. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා නායකත්වය දෙන රාජ්‍ය මූල්‍ය කාරක සභාව සුදු සීනි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බදු රුපියල් 50 සිට ශත 25 දක්වා 2020 ඔක්තෝබර් 13 දින අඩු කිරීමෙන් පාරිභෝගික ජනතාවට නොලැබුණ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. ඒ වසරකටත් වඩා පෙරය. පොහොට්ටු ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණගේ නායකත්වයෙන් පසුගිය ජුනි 08 දින රැස්වූ රාජ්‍ය ගිණුම් කාරක සභාව මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ සීනි කෙළියට අවධානය යොමු කළේය. එම තත්ත්වය වෙනස් කිරීමට නිර්දේශ කළ ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යාංශය ගෙන නොමැති බවද ප්‍රකාශ විය. මහා භාණ්ඩාගාරයට ආදායම් අහිමි කළ බවටද ප්‍රකාශ විය. නමුත් රටට ආදායම අහිමි කළ එකෙකුටවත් කිසිදු අපහසුවකින් තොරව තවදුරටත් දේශපාලන කිරීමේ හැකියාව ඇත. දූෂිත නිලධාරී පැලැන්තිය සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයමය.

ගෞතම් අදානිගේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩෝ 2021 නොවැම්බර් 25 දින මුදල් ලේකම් ආටිගලට ලිවූ ලිපිය බරපතළ කරුණු කාරණා ගොන්නක් මතු කර ඇත. බැසිල් රාජපක්ෂට මුදල් ඇමැතිකම අහිමි වීමත් සමගම ආටිගලට ද තම තනතුර අහිමි විය. එම ලිපිය ප්‍රධාන කරුණු හතරක් අවධාරණය කර ඇත.

(i) මන්නාරමේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සුළං විදුලි බලාගාරය සම්බන්ධයෙන් විමසා බැලීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් භූමිය පරීක්ෂා කිරීම අදානි සමාගමේ නියෝජිතයින් මෙම ‘විමර්ශනයට’ සහභාගී විය.

(ii) මන්නාරමේ කළ ‘විමර්ශනයට’ පසුව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී එවකට අගමැති මහින්ද රාජපක්ෂ විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩෝට අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීම. ගෞතම් අදානිගේ යෝජනාව ඉන්දියානු රජයේ යෝජනාවක් ලෙස සලකා කටයුතු කිරීම. මෙම යෝජනාව ඉන්දියානු අගමැති මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රාජපක්ෂ, ශ්‍රී ලංකාව මුහුණු දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළ යුතු ක්‍රියාමාර්ගයක් ලෙස සලකා කටයුතු කිරීම.

(iii) ඉන්දීය රජය කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට 2021 නොවැම්බර් 16 දින රාජපක්ෂ ජනාධිපතිවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිට දුන් නියෝගය. මන්නාරමේ සහ පුනරින් ක්‍රියාත්මක කිරීමට යෝජිත එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ ආයෝජනයක් ලෙස සලකා කටයුතු කිරීම. ගෞතම් අදානි ගේ යෝජනාව ඉන්දීය රජයේ යෝජනාවක් ලෙස සලකා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීම. ඒ මෝදි අග්‍රාමාත්‍යවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර ඇතිවූ එකඟතාවය මත කටයුතු කිරීමයි

(iv) උත්පාදනය කරන විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කිරීම සහ ආයෝජන මණ්ඩලය කේන්ද්‍රගතව අදාළ මෙහෙයුම කිරීම.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා එම ලිපියේ පිටපතක් එවකට ඇමැති නාමල් රාජපක්ෂට ද යවා ඇත. මෙම ව්‍යාපෘතියට නාමල් රාජපක්ෂගේ සම්බන්ධතාවයක් තිබේද?

ෆර්ඩිනැන්ඩෝ ආන්දෝලනාත්මක චරිතයකි. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමඟ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ෆර්ඩිනැන්ඩෝ ඔස්ටේ්‍රලියාව බලා පිටත් විය. ඔහුට අතිශය බරපතළ දූෂණ චෝදනා එල්ල විය. සමාජ ක්‍රියාකාරී රජිත් කීර්ති තෙන්නකෝන් සහ නීතිඥ නාමල් රාජපක්ෂ ඔහුට ප්‍රහාර එල්ල කළේය. අදාළ ආයතනවලට පැමිණිලි කළේය. වූ දෙයක් නැත. ඔහුට නැගූ චෝදනා සම්බන්ධයෙන් අදටත් නීතිඥ නාමල් රාජපක්ෂ සහ තෙන්නකෝන් නිර්භයව පෙනී සිටියි. ඒ පිළිබඳව ඔවුන්ගෙන් දැනගත හැකිය.

2019 ජනාධිපතිවරණයෙන් පසුව ෆර්ඩිනැන්ඩෝ නැවත රාජ්‍ය සේවයට එක්විය. යුගදනවි පාවාදීමට පෙර ෆර්ඩිනැන්ඩෝ විදුලි බල මණ්ඩලයේ නායකත්වයට පත් විය. දිගින් දිගටම විශ්‍රාමිකයින් මර්මස්ථානවලට පත්කිරීම දැන්වත් නවතා දැමිය යුතුයි. ආචාර්ය ඩී .සී. ආර්. අබේකෝන් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස ජනවාරි අග 2022 පත්කිරීම හේතුවෙන් ෆර්ඩිනැන්ඩෝ තම අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළේය. ඔහු අස්වීමට තීරණය කළේ 2022 පෙබරවාරි 01 දිනය. නමුත් ඉන්දීය – ශ්‍රී ලංකා සම්බන්ධතාවලට ගිනිතබන තුරු එම තනතුරේ රැඳී සිටියේය.

නැවතත් ඔහුට ඔස්ටේ්‍රලියාවට ගිය හැක. නැතහොත් දැනටමත් රටින් පිටවී ඇත. ෆර්ඩිනැන්ඩෝ ඔස්ටේ්‍රලියාවේය. මහ බැංකු බැඳුම්කර සැකකරු ද විදේශ රටක රැකවරණ සලසා ගෙන ඇත. රාජ්‍ය මුදල් වංචා කිරීමට හැකියාවක් ඇති සැම එකෙක්ම (රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ) එය ‘ඉහළින්ම’ කර ඇත. වේලක් නිසියාකාරව ගැනීමට හැකියාවක් නැති ජනතාවට ඇත්තේ කලකිරීමක් සහ සමස්ත හොරු රැළ පිළිබඳව වෛරයක් පමණි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment