විදුලිබල පනත විවාදයට විපක්ෂය දින දෙකක් ඉල්ලයි – ආණ්ඩුව බැහැ කියයි

1

මැතිසබය උණුසුම් වෙයි

විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට සහ විවාද කිරීමට දින දෙකක් ලබා දෙන්නැයි විපක්ෂය විසින් කරන ලද ඉල්ලීම් හේතුවෙන් ඊයේ (04දා) පෙරවරුවේ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙහිදී මතු වූ සංවාදයන් මෙසේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – අද නඩු තීන්දුව ආ පසු ඒක අධීක්ෂණ කාරක සභාවට යවන්න අපි පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා. මේක අද එක දිනකින් ඉවර කරන්න බැරි වෙයි. සංශෝධන ගණනාවක් තිබෙනවා. මේවා එකින් එක කතා කරන්න ඕනා. ඒ නිසා අද වගේම මේක හෙට දිනත් සැලකිල්ලට භාජනය කරන්න අවස්ථාව දෙන්න.

සජිත් ප්‍රේමදාස මහතා – මේ සංශෝධන ගැන විධිමත්ව සාකච්ඡා කරලා අපි හෙමිහිට මේක ගැන ක්‍රියා කරමු. නැතිව ලබන බ්‍රහස්පතින්දාට මේක අරගෙන අච්චාරුවක් කරගන්නේ නැතුව ශ්‍රේ්‍රෂ්ඨාධිකරණය ලබා දී තිබෙන සංශෝධන පරිශීලනය කරලා ජනතාවට අඩු මුදලකට විදුලිය ලබා ගැනීම සහ විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ නැතුව කරගෙන යන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු.

ඇමැති කංචන විජේසේකර මහතා – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අර්ථ නිරූපණය සජිත් ප්‍රේමදාස මහතා වැරදි විදිහට ප්‍රකාශ කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ව්‍යවස්ථාවට අනුකූල නොවුණත් ඒ කියන විදිහට සංශෝධනය කරනවා නම් ප්‍රශ්නයක් නෑ කියලායි. මෙතුමා සංශෝධන ගැන දන්නෙත් නෑ. වෙනත් පනත්වලට මීට වැඩිය සංශෝධන ඇවිත් තිබෙනවා. මේකට තිබෙන්නේ සංශෝධන 12යි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අපි විසින් එකඟ වූ සංශෝධනත් තිබෙනවා.

අනෙක කිරිඇල්ල මන්ත්‍රීතුමා විකිණීමක් ගැන කියනවා. එහෙම එකක් වෙන්නේ නෑ. ඒ වගේමයි මේක කඩිනමින් ගෙනාවේ නෑ. වසර එකහමාරක් විතර ගියා මේ සඳහා. ලබන 06 දා විවාදය තිබෙනවා. ඒ නිසා ඒ කටයුතු ඒ විදිහට වෙන්න දෙන්න. ආණ්ඩුව ලෙස අපි සූදානම් ඉදිරි කටයුතුවලට මුහුණ දෙන්න. 6 වැනිදා ඒ සඳහා අවශ්‍ය ඡන්දයත් ගන්න අපි කටයුතු කරනවා. විපක්ෂය කොහොමත් විරුද්ධයි නේ…?

සජිත් ප්‍රේමදාස මහතා – මේ රටේ පාරිභෝගිකයාට අඩු මුදලකට කාර්යක්ෂමව විදුලිය ලබාදීමේ අයිතිය අපිටත් තිබෙනවා. ඒ නිසා කඩිමුඩියේ ගේන්න එපා. එක එක්කෙනාට තිබෙන කුලප්පුවට මේවා කඩිනම් කරන්න බෑ. ඒ නිසා බ්‍රහස්පතින්දා මේක ගන්නේ නැතුව වෙනත් දිනයකට දාගනිමු.

විමල් වීරවංශ මහතා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සංශෝධන රැසක් තිබෙනවා. මේක සාමාන්‍ය පනතක් නොවෙයි රටේ බලශක්තිය ගැන බලපාන පනතක්. මේක සම්මත කළ පසු අපිට නැවත අධිකරණයට යන්නත් බෑ. ඉන්දියාවේ නම් ඒ සඳහා අයිතිය තිබෙනවා. අපිට ඒක නෑ. ඒ නිසා අපට නිවැරදිව පරිශීලනය කරන්න කාලය දෙන්න. මේ සතියේ නැතිව ඊළඟ සතියට කල් දාලා ශ්‍රේෂ්ඨාධිකරණ මතයයි පනතයි දෙක එකට තියලා සංසන්දනය කරලා සාකච්ඡා කරන්න ඉඩ දෙන්න.

චන්දිම වීරක්කොඩි මහතා – අද කියවපු තීන්දුව අනුව පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තිබෙනවා 12 (1) වගන්තියට මේ පනත පටහැනියි කියලා. 12 (1) කියන්නේ සමානාත්මතාවයි. මේ රටේ ජනතාවගේ සමානාත්මතාවට පටහැනි පනතක් ඉදිරිපත් කරන්න වෙලා තිබෙනවා කියලා දැන් පිළිගන්න වෙලා තිබෙනවා. මේ වගේ බැරෑරුම් සංශෝධනයක් මෑත කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා නෑ. ඒ නිසායි අපි කියන්නේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන පරිදි මේ පනත සංශෝධනය කරන්න ඉඩ දෙන්න කියලා.

දයාසිරි ජයසේකර මහතා- අද දවල් 1ට මේක සාකච්ඡාවට ගන්න අධීක්ෂණ කමිටුවට දාලා තිබෙනවා. අද සාකච්ඡා කරලා අපිට අදම ඉවර කරන්න වෙන එකක් නෑ. අපි මේ පනතට පක්ෂයි කිසි ගැටලුවක් නෑ. නමුත් අපි මේ තිබෙන ප්‍රශ්න ටික බේරගනිමු. පනතට විරුද්ධව කතා කරනවා නෙවෙයි මේ. මේක අනාගත දරුවන්ට බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා අපට කතා කරන්න පොඩි කාලයක් දෙන්න.

ගෙවිඳු කුමාරතුංග මහතා – අපට නඩු තීන්දුවක් මුද්‍රණය කරලා දෙන්න කථානායකතුමාට නොහැකි වෙලා. හැන්සාඩ් එකේ යන්නේ චූටි අකුරෙන්. කණ්ණාඩි දාලාවත් කියවන්න බෑ.

කථානායක- මේක දෙනකන් ඉන්න. කාටවත් දුන්නේ නෑ තවම. අද දෙනවා.

සභානායක- පනතක් සම්මත කරන ක්‍රමවේදය තමයි මේ පනතටත් අදාළ කරලා තිබෙන්නේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන ඉදිරිපත් කරලා තිබෙනවා ඒවා ආංශික අධීක්ෂණ කාරක සභාවට ගිහිල්ලා සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයන්ට අනුව තමයි අපි පක්ෂ නායක රැස්වීමේදී එකඟ වුණේ 6 වැනිදාට මේකේ විවාදය පවත්වන්න.

(සභාවේ ඝෝෂා)

කංචන විජේසේකර මහතා – ගෙවිඳු මන්ත්‍රීතුමා කියන විදිහට මේ පිටු හැට ගණනක නඩු තීන්දුවක් නෑ. නඩු තීන්දුව තිබෙන්නේ පිටු 3යි. මේ පිටු හැට ගණනක ලියලා තිබෙන්නේ වුණු සිද්ධිය. අපි නඩුව අහන අවස්ථාවේ නීතිපති හරහා එකඟ වූ කරුණු ගණනාවක් තිබෙනවා. ශේ්්‍රෂ්ඨාධිකරණය කියන විදිහට අපි කටයුතු කරනවා. මේක බලශක්ති කමිටුවට ඉදිරිපත් කරන්න. මේක අද ගෙනාවත්, ලබන සතියේ ගෙනාවත් විරුද්ධ අය විරුද්ධම තමයි. ඒ නිසා ආණ්ඩුවේ කටයුත්ත 6 වැනිදාට කරගන්න අවස්ථාව දෙන්න.

ශෙහාන් සේමසිංහ මහතා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකතුමා කියවන්න කලින් අපේ මේස මතට එන්නේ නෑ. එහෙම එන්න ඕනෑ කියනවා නම් ඒ මන්ත්‍රීගේ නොදැනුවත්කම. අපි නිවැරදි ක්‍රමය අවබෝධ කරගන්න ඕනා. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා කවදාවත් මේ සභාවට ඇවිත් වටිනා දෙයක් කිව්වේ නෑ. මේ පනත් කල්දාන්න බෑ.

නිමල් ලන්සා මහතා- මේ පනත සම්මත වුණාම මේ රටේ පාරිභෝගිකයන්ට තමයි වාසිය යන්නේ. ඒ යන වාසිය නවත්වන්න තමයි මේක ප්‍රමාද කරන්න කියන්නේ.

හර්ෂ ද සිල්වා මහතා- මේක අසාධාරණ ඉල්ලීමක් නොවෙයි. අපිත් පිළිගන්නවා මේ අවශ්‍ය සංශෝධන කරන්න ඕනා කියලා. අපි ළිං මැඩියෝ නොවෙයි. නමුත් මේක නරන්න යන විදිහ ගැන ගැටලුවක් තිබෙන්නේ. නැතුව අපි මේකට විරුද්ධ නෑ.

ශෙහාන් සේමසිංහ මහතා- ළිංමැඩි මානසිකත්වයෙන් මේ රටට ඉදිරියට යන්න බෑ. හර්ෂ මන්ත්‍රීතුමා කියන එක හරි. ඒත් ඒක ඔබේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නේ නෑ.

විමල් වීරවංශ මහතා- මේ විවාදයට දවස් දෙකක්වත් ගත යුතුව තිබුණා. මේක තනි දවසකට අරගත්තාම අපට කතා කරන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ නෑ. බලශක්තිය කියන්නේ රටක් හසුරවන්න පුළුවන් ටූල් එකක්. මේක මේ සතියේ කරනවා නම් අපිට දින දෙකක විවාදයක් දෙන්න. ඒක සාධාරණ ඉල්ලීමක්.

මුජිබර් රහුමාන් මහතා – රාජ්‍ය ආයතනවලට මේ දේවල් කරන්න මේගොල්ලන්ට ජනමතයක් ලැබුණේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා කිව්වා රාජ්‍ය ආයතන විකුණන්න දෙන්න බෑ කියලා. දැන් මෙතන සිටින නාමල් රාජපක්ෂ කියන්න තමන්ගේ මතය කුමක්ද කියලා?

අනුර කුමාර දිසානායක මහතා- පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු දිනයක කැඳවන්න කියලා අපි කලිනුත් ඉල්ලුවා. නමුත් කථානායකතුමා ඒක කළේ නෑ. මේ පනත ගැන විධිමත් සාකච්ඡාවක් අවශ්‍යයි. ශෙහාන් සේමසිංහ ඇමැතිවරයා කිව්වා ළිංමැඩි මානසිකත්වයක් ගැන. ඔහු රාජපක්ෂ කඳවුරේ ඉන්නකොට ළිඳේ.

වික්‍රමසිංහ කඳවුරට එනකොට ළිඳෙන් එළියේ වගේ ප්‍රකාශ තමයි කරන්නේ. කොහොම වුණත් මම කියන්නේ බලශක්ති ක්ෂේත්‍රය විශාල වෙනසක් කරන්න යන නිසා කාලයක් අවශ්‍යයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – පක්ෂ නායක රැස්වීමට මම විතරයි විපක්ෂයෙන් ආවේ. වෙන කව්රුවත් ආවේ නෑ. මම විවාදයට තව දවසක් දෙන්න කියලා සභානායකතුමාගෙන් ඉල්ලුවා. ඒත් ඔහු බෑ කිව්වා.

ශෙහාන් සේමසිංහ මහතා – අපි වෙනස් විය යුතු නම් වෙනස් විය යුතුයි. අපි අතීතයේ දේවල්වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. අපි මේ ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. අනුර කුමාර ඉන්දියාවට ගිහින් ආවට පස්සේ කෑගහන එක නැවැත්තුවා. අපි නිවැරදි දේ නිවැරදි වෙලාවට කරමු.

විමල් වීරවංශ මහතා – අපි මෙතැන යෝජනා දෙකක් කළා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යයනය කරන්න කාලය දෙන්න කියලා. ඒක බැරි නම් ඔය සිකුරාදාට තිබෙන ණය කළමනාකරණ පනත ගැන විවාදය ඊළඟ සතියට දාලා අපිට එදාත් දීලා මේ විවාදයට දින දෙකක් දෙන්න. ඒ සඳහා දැන් පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න.

කථානායක- පක්ෂ නායක රැස්වීමේදී ඒ ගැන තීන්දුවක් ගන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment