විදුලිබල ලේකම්වරිය එකම වරද දෙවැනි වරටත් කරයි… කැලණිතිස්ස විනාශ කිරීමේ කුමන්ත්‍රණය තවම නිමා නැත…

466

* විදුලි කප්පදුවක් අත ළඟ

මනෝජ් අබයදීර

එකම වරද දෙවිදිහකට සිදුකිරීම, විදුලිබල ලේකම් ලෙස දිගටම කටයුතු කිරීමේ සුදුසුකම බවට මේ වන විට පත්ව තිබේ. පළමුවර ටෙන්ඩරය අවලංගු කිරීම සඳහා විදුලිබල ලේකම්වරිය කැබිනට් මණ්ඩලයට දන්වා යවන ලද බොරුව වූයේ, අදාළ ටෙන්ඩරය සඳහා මහජන බැංකුව භාණ්ඩාගාර ඇපකරයක් ඉල්ලා සිටින බවය. ඊළඟ වාරයේදී ඇයගේ බොරුව වී තිබෙන්නේ, මහජන බැංකුවේ අනුමැතියකින් තොරව, මෙම ටෙන්ඩරය සඳහා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව, ටෙන්ඩරයේ සැපයුම්කරුවන් සඳහා මහජන බැංකුව ඇපකරයක් ලබා දී ඇතැයි සාවද්‍ය ලෙස මහජන බැංකුවේ නම භාවිතා කිරීමය.

2015 වසරේදී සකස් කරන ලද, දීර්ඝ කාලීන විදුලිබලය පුළුල් කිරීමේ සැලසුමේ සඳහන් වන්නේ කැලණිතිස්ස බලාගාරය පුළුල් කළ යුතු බවය. රටේම විදුලිය එකවර බිඳවැටී, පැය ගාණක් ගතවුවත්, එය යථා තත්ත්වයකට පත් කරගත නොහැකි මොහොතක, ක්ෂණිකව ක‍්‍රියාත්මක කළ හැකි යාන්ත‍්‍රණයක් සතු වන්නේ, කැලණිතිස්ස බලාගාරයට පමණි. ඒ, ඞීසල් බලාගාරයක ස්වභාවය ය. විදුලි බලාගාරයක් ලෙස වහා ක‍්‍රියාත්මක කළ හැකි ඞීසල් බලාගාර පද්ධතියක්, රාජ්‍යය හිමිකම සතුව තිබිය යුත්තේ, මෙවන් හදිසි අවස්ථාවක් සඳහා පමණක් නොවේ. පීක් හවර්ස් ලෙස හඳුන්වන උදෑසන සහ සන්ධ්‍යා කාලයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ද එවැනි යාන්ත‍්‍රණයක් අවශ්‍යය. එසේම ජලාශ සිඳී යන වැසි රහිත සමයේදී ජල විදුලි හිඟයේ අඩුව පිරිමසන්නේ ද කැලණිතිස්ස බලාගාරය ය. කැලණිතිස්සය අඩපණ වුවහොත් ක්ෂණික මිලදී ගැනීම් ඔස්සේ වැඩි මිලට පුද්ගලික ඞීසල් බලාගාර වෙතින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට සිදුවේ.

කැලණිතිස්ස බලාගාරය සඳහා නව ජනක යන්ත‍්‍ර සවි කිරීමේ පසුබිම් කතාව එසේය.

කැලණිතිස්ස බලාගාරය සඳහා මෙගාවොට් 35 ධාරිතාවේ වායු බලාගාර තුනක් සවිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන්නේ ඒ අනුවය. මේ සඳහා ටෙන්ඩර් කැඳවන ලද්දේ 2019 වසරේ ඔක්තෝබර් 14 වැනිදාය. ටෙන්ඩරයේ සියලූ කටයුතු අවසන් කර, සාර්ථක ටෙන්ඩර්කරු වශයෙන් සමාගමක් තෝරා ගෙන නිර්දේශ කර තිබියදී, ටෙන්ඩරය සඳහා සැපයුම්කරුට ගෙවිය යුතු රුපියල් බිලියන විස්සකට ආසන්න මුදල ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය මුදල් වෙන් කර තිබියදීත් ඒ සඳහා ගෙවීමට මහජන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට, භාණ්ඩාගාර ඇපකරයක් අවශ්‍ය බව සඳහන් කර, එය නොමැතිව, මහජන බැංකුව ණය මුදල සැපයීම ප‍්‍රතික්ෂේප කළ බව සඳහන් කරමින්, ටෙන්ඩරය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළේ මෙම සාවද්‍ය, භාණ්ඩාගාර ඇපකරයක අවශ්‍යතාවය සඳහන් කරමින්, ඇමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය නොමග යවමිනි. එම අවලංගුව පිළිබඳව කැබිනට් පත‍්‍රිකාව ඇමැතිවරයා අත්සන් කරන ලද්දේ, 2020 ඔක්තෝබර් 05 දිනය. මෙම පත‍්‍රිකාව මත නොමග ගියේ ඇමැතිවරයා පමණක් නොවේ, මුදල් ඇමැතිවරයා ද නොමග ගියේය. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් විදුලිබල ලේකම්වරියගේ වාර්තා කිරීම නිවැරැදි යැයි පිළි ගනිමින් මුදල් ඇමැතිවරයාට අවශ්‍ය නිර්දේශ කෙටුම්පත් කර දීමෙනි. එවැනි ඇපකරයක් මහජන බැංකුව ඉල්ලා නොතිබුණු බව මහජන බැංකුවේ සභාපති විදුලිබල ලේකම්වරියට 2021 ජනවාරි පස් වැනි දින ලිඛිතව දන්වා තිබියදී, ඇය මෙම බොරුව මත දිගටම රැඳී සිටියාය. එම බොරුව නිසා අමාත්‍ය මණ්ඩලය නොමග ගිය බවට කිසිම සංවේදීතාවයක් ලේකම්තුමියට තිබුණේ නැත. මේ විදුලිබල ලේකම්වරිය, කැබිනට් මණ්ඩලයට මුසා බස් කියන ලද පළමු වතාවය.

මහජන බැංකුව විසින් එවැනි ඇපකරයක් ඉල්ලා නොසිටි බව ‘කැලණිතිස්සය වසා දැමීමේ කුමන්ත‍්‍රණයක්… නම් 2021 පෙබරවාරි 14 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයෙන්’ අප හෙළි කෙරුවෙමු. අදාළ ටෙන්ඩරය සඳහා ණය මුදලක් ලබා ගැනීම සඳහා 2019 ඔක්තෝබර් 04 දින විදුලිබල මණ්ඩලය මගින් මහජන බැංකුවෙන් කරන ලද ඉල්ලීම සඳහා, ඇපකරයක් අවශ්‍ය බව මහජන බැංකුවේ 2019 දෙසැම්බර් 09 දරණ ලිපියකින් විදුලිබල මණ්ඩලය වෙත දන්වා ඇතැයි යන කාරණාව මවා ගනිමින්, ලේකම්වරිය මෙසේ සිය බොරුවට පදනමක් ගොතා ගත්තාය. මේ සඳහා සහයට කැඳවා ගන්නා ලද්දේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ අවංක නිලධාරියකු වන සුලක්ෂණ ජයවර්ධන මහතාය. ඔහුට රාජකාරිමය වශයෙන් බලපෑම් කරමින්, අකැමැත්තෙන් වුවද පිළිතුරු ලිපියක් යැවීමට, ඔහුව පොළඹවන ලද්දේය. සුලක්ෂණගේ පිළිතුරට අප විසින් ප‍්‍රතිචාර දැක්වූ විට, ඔහු නිහඬ විය. තවදුරටත් ඒ සඳහා ඔහු පිළිතුරු සැපයීම මග හරින ලද්දේ, ඔහුගේ ප‍්‍රකාශයේ සඳහන් කරුණු ඔහුම දන්නා නිසාත් මේ පවට කර ගැසීම තුළින් තමා මෙතෙක් කල් ආරක්ෂා කරගෙන තිබූ කිර්ති නාමය බිඳ ගැනීමට තමන්ට අවශ්‍ය නැතැයි ඔහුගේ සගයන්ට පවසමිනි.

මහජන බැංකු සභාපතිවරයා විසින් අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යොමු කරමින්, ඇපකරයක් අවශ්‍ය නොමැති බව දන්වන ලද්දේ 2021 ජනවාරි 05 වැනිදාය. ඒ සමගම ටෙන්ඩරය අවලංගු කරන ලද්දේ, පදනම් විරහිත කාරණයක් මත බව පැහැදිලිව පෙනී ගියේය.

විදුලිබල අමාත්‍යංශය විසින් විදුලිබල මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරී අමතා 2021 ජනවාරි 15 වැනිදා ලිපියක් යවමින් විමසා සිටින්නේ, මහජන බැංකුව මෙම ටෙන්ඩරය සඳහා ඇපකරයක් ඉල්ලා සිටියේ ද යන්නය. විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍යාංශ ලේකම්වරිය වෙත 2021 ජනවාරි 27 වැනිදා, මේ සඳහා පිළිතුරක් ලබා දුන්නේය. මහජන බැංකුව විසින් ඇපකරයක් ඉල්ලා ලිපියක් නිකුත් කර නොමැති බව එහි සඳහන් විය.

විදුලිබල මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරී අමතා 2021 ජනවාරි 15 වැනිදා, විදුලිබල අමාත්‍යාංශය යවන ලිපිය මෙහිදී වැදගත්ය.

මහජන බැංකුව ඇපකරයක් ඉල්ලා සිටි බව කියමින්, ටෙන්ඩරය අවලංගු කිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් වන්නේ, 2020 ඔක්තෝබර් 05 දිනය. ඇපකරය පිළිබඳ පාදකයක් සොයමින් අමාත්‍යංශය විසින් විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යොමු කරන්නේ, 2021 ජනවාරි 15 වැනිදාය. මුලින්ම අවලංගු කර පසුව හේතු සොයමින්, විදුලිබල අමාත්‍යාංශය විසින්ම තමන්ගේ බොරුව එසේ රටට, ලිඛිතව හෙළි කරන්නේය.

අවලංගු කරන ලද ටෙන්ඩරය වෙනුවට නව ටෙන්ඩරයක්, යළි කැඳවන්නේ 2021 අපේ‍්‍රල් 21 වැනිදා පුවත්පත් නිවේදනයක් පළ කරමිනි. එහිදී විදුලිබල අමාත්‍යංශය සඳහන් කරනු ලබන්නේ, අදාළ ටෙන්ඩරය සඳහා තෝරාගන්නා සැපයුම්කරු සිය අරමුදල්වලින් මෙම යන්ත‍්‍රාගාරය සැපයිය යුතු බවටත්, ඒ සඳහා සැපයුම්කරුට ගෙවිය යුතු මුදල්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවන බවටත්, ඒ සඳහා ඇපකරයක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් මුදල් ගෙවීමේ වගකීම මහජන බැංකුව භාරගෙන, මහජන බැංකුව විසින් භාණ්ඩාගාර ඇපකරයක් රහිතව, මහජන බැංකුව විසින් බැඳුම්කරයක් යන්ත‍්‍රාගාර සපයන්නාට නිකුත් කරන බවත්ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මේ සඳහා ණය පහසුකම් භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව, මහජන බැංකුව විසින් සපයන බවය.

අප ලද තහවුරු කරගත් තොරතුරු අනුව එවැනි කිසිදු අනුමැතියක් මේ දැන්වීම පළවන තෙක් මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් විදුලිබල අමාත්‍යාංශය ලබා ගෙන තිබුණේ නැත. මේ පිළිබඳව මහජන බැංකු සාමාන්‍යාධිකාරීවරයා විමසන ලදුව, අදාළ අංශ වෙතින් විමසා ඒ පිළිබඳව දැනුවත් කරන බව පවසමින් එම ප‍්‍රශ්නයෙන් සූක්ෂමව මග හැර ගියේය. මෙවැනි ආන්දෝලනාත්මක ගනුදෙනුවකදී වගකිව යුතු මාධ්‍යයක් විසින් සිදු කරන විමසීමකදී සාමාන්‍යාධිකාරිවරයා දැන නොසිටීමට කිසිදු කාරණාවක් නොමැති බව යමක් කමක් නොතේරෙන හද්දා පිටිසර ගැමියකුට වුවද වැටහෙන කාරණාවකි.

ඒ අනුව විදුලිබල ලේකම්වරිය එකම ටෙන්ඩරයක් උදෙසා දෙවිදිහකට බොරු කියූ දෙවන අවස්ථාව මෙය ය.

ටෙන්ඩර් ලියකියවිලි මෙසේ වගකීම් විරහිතව සහ අසත්‍ය ආකාරයෙන් සකසමින් ජනතාව සහ රජය අපකීර්තියට ලක් කරන විදුලිබල ලේකම්වරිය, එමගින් කැබිනට් මණ්ඩලය අනුමත ප‍්‍රසම්පාදන මණ්ඩලය ද සිතා මතාම නොමග යවා තිබේ. මෙසේ ප‍්‍රසම්පාදන මණ්ඩලය නොමග යැවීම, කැබ්නට් මණ්ඩලය නොමග යැවීමකට සමාන ය. කැබිනට් වගකීමක් ඉටු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද ප‍්‍රසම්පාදන මණ්ඩලය ද විදුලිබල ලේකම්වරියගේ වගකීම් විරහිත ක‍්‍රියා කලාපය දැන දැනම, විශේෂයෙන්ම ණය පහසුකම් සපයන්නා ලෙස මහජන බැංකුවේ ලිඛිත අනුමැතියක් ලබා තිබේද නැද්ද යන්න නොවිමසා, මෙසේ ටෙන්ඩර් කැඳවීමක් සඳහා යොමු වූයේ ඇයිද යන්න අමාත්‍ය මණ්ඩල අනුමත ප‍්‍රසම්පාදන මණ්ඩලය අපට පිළිතුරු ලබා දිය යුතුය.

රේඛීය අමාත්‍යාංශ ලේකම් ලෙස විදුලිබල ලේකම්වරිය ප‍්‍රසම්පාදන මණ්ඩලයේ අනිවාර්ය සාමාජිකයෙකි. රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප‍්‍රකාශන මෙවැනි කමිටුවක සෙසු සාමාජිකයන් පිළිගැනීම සම්ප‍්‍රදාය වේ. කොළේ වසා මෙවැනි කමිටුවකට රේඛීය අමාත්‍යංශයේ ලේකම්වරයකු කරුණු ඉදිරිපත් කරන්නේ නැත. එසේ තිබියදී සෙසු කමිටු සාමාජිකයන් ද අමාරුවේ දමන අමූලික අසත්‍ය මෙවැනි කමිටුවක් ඉදිරියේ ඇද බානා විදුලිබල ලේකම්වරිය, මින්පසු කිසිදු ප‍්‍රසම්පාදන කමිටුවකට වැද්දා නොගත යුතුය. ඇය මෙවැනි කමිටු ඉදිරියේ ප‍්‍රකාශ කරන අසත්‍ය හේතුවෙන්, සෙසු සාමාජිකයන් ද නීතිය හමුවේ වගකිව යුතු තත්ත්වයකට පත්වනවා ඇත.

ඇයගේ ලේකම් ඉතිහාසයම, මෙවැනි ගනුදෙනු වලින් පිරි ඇති බව කිව හැකිය. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස, නෙවිල් ප‍්‍රනාන්දු රෝහල නම් පුද්ගලික ආයතනය සඳහා සියලූ රාජ්‍ය මූල්‍ය පටිපාටින් උල්ලංඝනය කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් වෙනත් කාරණා සඳහා ප‍්‍රතිපාදිත රජයේ මුදල්වලින් රුපියල් මිලියන 600ක් ලබාදෙන ලද්දේ, මේ ලේකම්වරිය විසිනි. මේ සඳහා වගකිව යුතු පුද්ගලයන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව සහ වසන්තා පෙරේරාට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස, මෙම ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කරන ලද විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ නිර්දේශ කර තිබේ.

මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ගණනාවක් දිගින් දිගට මෙම දූෂිත ක‍්‍රියාව හෙළිදරව් කරද්දීත් ඇය ආරක්ෂා කරන්නේ කවුරුන්ද…? එවන් පසුබිමක අග‍්‍රාමාත්‍ය කාර්යාලය, අදාළ ටෙන්ඩර් ගනුදෙනුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට මැදිහත්වීම ප‍්‍රශංසනීය වේ.

”මෙම ටෙන්ඩරය අවලංගු කර එයට විකල්පයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාව ද (sellers credit) අධික කාලයක් ගතවෙන, රජයේ ඇපකර ලබාදෙමින් ක‍්‍රියා කළ යුතු, දික් ගැස්සුණු දැඩි කාර්යය පටිපාටියකින් සංයුක්ත, විදේශීය බැංකු මගින් ණය ගැනීමේ ක‍්‍රියාවලියකි. එමෙන්ම වැඩි පොලී රක්ෂණ වාරික, බැඳීම් ගෙවීම්, ආදී විවිධ ගෙවීම් රාශිකට මැදිහත්වීමකින් විශාල මූල්‍ය පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට ඇති කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගේ 2021. 01.27 දිනැති ලිපියේ සඳහන් ප‍්‍රකාශයෙන්, දේශීය බැංකුවකින් ණය පහසුකම් ලබා ගත නොහැකිවීමට හේතුව වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අසතුටුදායක මූල්‍ය තත්ත්වය ගෙන හැර දක්වන ගමන්ම, එම අසතුටුදායක මූල්‍ය තත්ත්වය මතම, ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකින් විදේශ බැංකුවකින් ණය ගැනීමේ යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කරයි.

ඉදිරි මාස හය තුළදී විදුලි ඒකකයක්, රු.23.40කට වඩා අඩු මුදලකට, මෙගාවොට් 150ක පද්ධතියට එක් කිරීම, වෙනුවට ඒකකයක් රුපියල් 30 කට වැඩි මුදලකට (හදිස්සි මිලදී ගැනීම් වශයෙන්) ඒ හා සමාන ධාරිතාවයකින් යුත් බලාගාර ක‍්‍රියාත්මක කිරීම තුළින් සිදුවන මූල්‍ය පාඩුව ඉතා විශාල වන අතර, මාස හයක් ඉක්මවා (2021 මැයි මස සිට) මෙගාවොට් 150 වෙනුවෙන් මීළඟ ටෙන්ඩරය සාර්ථක කර, විදුලි බලාගාර තුනක් සවිකර ජනනය ආරම්භ කරන තෙක්, ගතවන කාල පරිච්ෙඡ්දය මත, මෙම පාඩුව

ගණන් බැලීම සහ එයට නිලධාරීන්ගේ වගකීම සහ වගවීම රඳා පවතියි. මෙම මූල්‍ය පාඩුව තුළින් ජනිත වන අපරාධමය නිමිත්ත සහ එයට බැඳුණු අධිකරණ ක‍්‍රියාවලිය සහ එවන් මූල්‍ය පාඩුවක් ඇතිවීම වැළැක්වීමට පියවර නොගැනීම, මත උද්ගත වන වගකීම සහ වගවීම ගැන සැලකිල්ල යොමු කළ යුතු බව නිරීක්ෂණය කරමි.”

යන එම වාර්තාවේ සඳහන අනුව අප සෘජුවම අල්ලස් හෝ දූෂණ කොමිසමට මේ පිළිබඳව පැමිණිලි කරන අතර, එහිදී පාවාදීම්, අතින් ගෙවීම් ආදිය අනුව මෙම කුමන්ත‍්‍රණයේ නෛතික වශයෙන්ම අවසානයක් කරා කැඳවනු ඇත. මෙය එතරම් භයානක අනතුරක් කරා රට කැඳවාගෙන යන්නකි.

ඒ සමගම ප‍්‍රමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරයකු ඇතුළු කණ්ඩායමක්, මේ සඳහා නඩු පැවරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව අපට වාර්තා වී තිබේ.

ජාතියේ බලශක්ති සුරක්ෂිතභාවය පිළිබඳව අනුපමේය සේවයක් සිදු කරන ලද නායකයා වන්නේ වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද සමයේදී, මේ රට විදුලි බලය සම්බන්ධයෙන් ඉතා දියුණු දැක්මක් සහිතව කටයුතු කළේය. ඒ වන විටත් පාඩු ලැබීමේ මහඟු උදාහරණයක් බවට පත්ව තිබූ විදුලිබල මණ්ඩලය, ඔහු සිය බලශක්ති කාර්යභාර්ය ඉටු කිරීම සඳහා බරක් කර ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු රටේ අනාගත බලශක්තිය උදෙසා අති දැවැන්ත ඉදිරි සැලසුමක් සකස් කර ක‍්‍රියාවට නැංවිය. ත‍්‍රස්තවාදය පරාජය කරන ලද නායකයා ලෙස ඔහුට ලැබී ඇති ගෞරවයට නොදෙවෙනි ගෞරවයක් බලශක්තියෙන් දේශය සන්නද්ධ කිරීම උදෙසා ඔහුට ලැබිය යුතුය. ‘සැමට සැමදා සැමවිට විදුලිය’ යන පාඨය ඔස්සේ ඔහු ජාතියේ බලශක්ති අනාගතය සුරක්ෂිත කළේය. පායන කොට ලයිට් කපන මණ්ඩලය, වෙනුවට කාලගුණ හේතු ඇතුව හෝ නැතිව රටේ බලශක්තිය සවිබල ගැන්වීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පිළිවෙත විය. අදටත් මේ රටේ ආලෝකය දැල්වෙන මොහොතක් පාසා මහින්ද රාජපක්ෂ මහතා සහ එම රජයේ විදුලිබල අමාත්‍යවරු, ලේකම් ඇතුළු නිලධාරීන් ආදීන් සිදු කරන ලද සේවාව ප‍්‍රශංසාවට ලක් විය යුත්තේය.

ඒ සමග ඇසිය යුත්තේ, මේ මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටින ආණ්ඩුවක් ද යන්නය. ඒ තරමට තත්ත්වය භයානක ය. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ, ජාතියේ විදුලි ජනනය ගිය ඉදිරි ගමන, අද ඔහු අගමැති වී සිටින ආණ්ඩුව යටතේ යන්නේ රිවස් ගියරයට ය. මෙය අල්ලස්, දුෂණ ගණයේ සිද්ධියකි. ඒ මතු නොව මේ රටේ අනාගතය අඳුරු කිරීම සඳහා ගෙන යන කුමන්ත‍්‍රණයකි. රටේ ආර්ථිකය, ආරක්ෂාව ආදිය කාටත් හොරා විනාශ කිරීම සඳහා සිදු කරනු ලබන කුමන්ත‍්‍රණයකි. ගමින් ගමට ගොස් ජනතාවගේ ප‍්‍රශ්න සඳහා ගම් මට්ටමින් විසඳුම් ක්ෂණිකව ලබා දෙන නායකයාට මේ පිළිබඳව මාධ්‍ය හෙළිකරන විට, ඔහුගෙන් එය වසං කරන අදෘශ්‍යමාන බලවේගය කුමක්ද…? රාජ්‍ය නායකයාට සහ කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු සපයනවා සේම, රාජ්‍ය නායකයාගෙන් සත්‍ය වසං කිරීම ද ඒ ආකාරයෙන්ම බරපතළ වරදකි.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ එක් වග උත්තරකරුවකු වන එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ ”අප දැන සිටියා. මෙතරම් බරපතල තත්ත්වයක් ඇතිවනු ඇතැයි සිතුවේ නැහැ” කියාය. ඒ ආණ්ඩුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම්වරයා දැන් මුහුණ දෙමින් සිටින ඉරණම අප පෙන්වා දිය යුතු නැත. මේ ලේකම්වරිය පමණක් අදාළ සිද්ධිය සඳහා තනිව වග කියන්නේ නැත. ඒ සඳහා තව බොහෝ දෙනෙකුගේ නම් නීතිය ඉදිරියේ ඇදෙනවා ඇත. පාඩුවක් වන බව දැන සිටිමින් එය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ පරමාදර්ශයක් ස්ථාපනය වී තිබේ. ඉහත නඩුවේ මූලික නෛතික පදනම ද එයවේ. මෙය වගකිව යුතු මාධ්‍යයක කාර්යය භාර්යයි. අප සතු සියලූ ලිපි ලේඛන, පරිශීලනය කිරීමට රටේ බලශක්තිය සුරකින විදුලිබල අමාත්‍යාංශයේ ඕනෑම වෘත්තීය සමිතියකට ලබාදීමට සූදානම්ය. මේ සඳහා උනන්දුව දක්වන ඕනෑම පාර්ශ්වයකට මේ ලිපි ලේඛන අපිට ලබාදිය හැකිය. අප මේ සඳහා මූලික පියවර තබන අවස්ථාවේදී ටෙන්ඩරය ක‍්‍රියාත්මක වෙමින් පැවතුණි. අපගේ ක‍්‍රියා කලාපය තුළින් වාසියක් ලබන පාර්ශ්වයක් වෙනුවෙන් අප පෙනී සිටින්නේ යැයි කියනවා නම් මේ මොහොතේදී මෙම අනාවරණයෙන් ප‍්‍රතිලාභයක් ලබන කිසිදු ටෙන්ඩර්කරුවෙකු නැත. මක් නිසාද යත් මෙම ටෙන්ඩරය දැන්, නීති විරෝධිව අවලංගු කර ඇති නිසාය. එහෙත් මේ සමාජයට වූ පාඩුව එසේම පවතියි. අපගේ වෑයම එවැනි ඉදිරියේදී සිදුවිය හැකි පාඩු වළක්වා, වරදකාර පාර්ශ්වයන්ට දඬුවම් ලබාදී අනාගත පරපුරට ආදර්ශයක් සැපයීමටය.

ජනතාවගේ බදු මුදල් පරිහරණය බාරව සිටින රාජ්‍ය නිලධාරීන්ගේ ක‍්‍රියාකාරම් පිළිබඳව ප‍්‍රබල සංවාදයක් රට තුළ ගොඩනැගී ඇති මෙවන් වකවානුවක සහ උදේ ආහාර වේල රජයේ අරමුදල්වලින් ලබා ගත්තේ යැයි රටේ රාජ්‍ය නායකයකුට එරෙහිව අභියෝග කරන ලෝක තත්ත්වයක් තුළ සිදුව ඇති මෙම මූල්‍ය පාඩුවට අදාළ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව දේශපේ‍්‍රමී ජනතාව අවධානයෙන් බලා සිටිනු ඇත. ඒ සඳහා වේදිකාව නිර්මාණය කිරීම වගකිව යුතු මාධ්‍යයක කාර්ය යයි.

advertistmentadvertistment
advertistmentadvertistment