විදුලිය කපන්න අවසර නැහැ –  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

473

හෙටින් ආරම්භ වන පෙබරවාරී මාසය තුළ විදුලි ඉල්ලූම කළමනාකරණය කර ගත හැකි බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඒ් අනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වැනි දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් අවශ්‍ය වන බවයි

මේ පිළිබඳ වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

”ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට කළ යෝජනාවෙන් පසුව අපි බලාගාරවල තත්ත්වය හා ඉන්ධන සැපයුම පිළිබද අඛණ්ඩව සමාලෝචනය කළා. විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන නිසා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර දුන්නේ නෑ. යෝජිත විදුලි කප්පාදුව කළා නම් සමස්ත ආර්ථිකයට සිදුවිය හැකිව තිබූ පාඩුව රුපියල් බිලියන 31ක් පමණ වනවා. විදුලි කප්පාදුව වැලැක්වූ නිසා මේ රුපියල් බිලියන 31ක අපිට ඉතිරි කරගන්න හැකි වුණා. එළඹෙන පෙබරවාරි මාසය ආරම්භයේදී ද විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදිය හැකි බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම ලබන මාසයේදී උසස් පෙළ විභාග ආරම්භ වීමට නියමිතයි. මේ විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා බාධාවකින් තොරව විදුලිය සැපයිය යුතුය. අලූත්වැඩියාවට ලක් වෙමින් තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ඒකකය මේ වන විට ජනන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ් වගේම පහුගියදා නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කර තිබූ සොජිට්ස් බලාගාරයේ මෙගාවොට් 130ක් නැවත ජනන කටයුතු ආරම්භ කරනවා පෙබරවාරි 2 වැනිදා. මේ නිසා විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි බව තහවුරු වී තිබෙනවා.’’

මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොර තෙල් ලැබී පිරිපහදු කටයුතු ආරම්භ වී ඇති හෙයින් ඉන්ධන බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඉදිරියේදී ලැබෙන බවද ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කළේය.

”පිරිපහදුවේ අතුරු ඵල වශයෙන් දැවි තෙල් හා නැෆ්තා නිෂ්පාදනය වනවා. සපුගස්කන්ද, කලම්බු බාජ්, වෙස්ට්කෝස්ට්, උතුරු ජනනී වැනි මෙගා වොට් 495 ක පමණ බලාගාර සඳහා දැවි තෙල් අවශ්‍ය වනවා. දැනට ලැබී ඇති බොර තෙල් පිරිපහදු කටයුතුවලින් නිෂ්පාදනය වන දැවි තෙල්වලින් මෙගා වොට් 495ක් දින 13ක පමණ කාලයක් ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ් වගේ නිෂ්පාදනය වන නැෆ්තා ප‍්‍රමාණයෙන් මෙගා වොට් 150ක බලාගාරයක් දින 5ක කාලයක් ක‍්‍රියාත්මක කරන්න පුළුවන්.

විදුලි සැපයුම පිළිබඳ අභියෝගයක් එල්ල වී ඇති මෙවැනි අවස්ථාවන්හිදි එය කළමනාකරණය කර ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාගේ සහාය අත්‍යවශ්‍ය බවද ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

මේ පිළිබඳ පැහැදිලි කළ කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

”විදුලි පහන් සීමා කිරීම, වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතය අරපිරිමැස්මෙන් කිරීම, වීථි ලාම්පු දැල්වෙන කාලය සීමා කිරීම වැනි පාරිභෝගික සහාය ඇතිව කළ හැකි දැඩි සංරක්ෂණ ක‍්‍රියාමාර්ගයක් අපි යෝජනා කළා. අපේ ගණන් බැලීම් අනුව මේ පියවරයන් මගින් පමණක් අපිට දිනකට ගිගා වොට් පැය 3.7ක ප‍්‍රමාණයක් ඉතිරි කර හැකියි. එසේ කළහොත් මෙගා වොට් 150ක ඉන්ධන බලාගාරයක් පැය 24 කට අක‍්‍රිය කළ හැකි ය. මේ අවස්ථාවේදී විදුලි සංරක්ෂණය සඳහා සහාය වීම විදුලි පාරිභෝගිකයාගේ වගකීමක්. අපි ඉල්ලා සිටිනවා සියලූ විදුලි පාරිභෝගිකයින්ගෙන් තමන්ට හැකි උපරිම ආකාරයෙන් විදුලි සංරක්ෂණය සඳහා සහාය වන ලෙස. මෙවැනි අවස්ථාවක විදුලිය නාස්තිකාර ලෙස භාවිත කළහොත් අවසාන විසඳුම විදුලි කප්පාදුවක් වෙන්න පුළුවන්.’’

මෙගා වොට් 300ක පමණ ධාරිතාවයක් රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලි ජනන යන්ත‍්‍ර හරහා සපයාගැනීමට ද ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ් පිළිබඳ අදහස් පළ කළ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා

”අපිට ක්ෂණිකව විදුලිය සපයාගත එක් ක‍්‍රමයක් තමයි විවිධ ආයතන සතු මෙවැනි විදුලි ජනන යන්ත‍්‍ර. මේ වන විට මෙගා වොට් 100ක හිමිකරුවන් සමග අපි සාකච්ඡුා කළා. මේ සතියේදී තවත් කණ්ඩායමක් සමග සාකච්ඡුා කිරීමට නියමිතයි. ලබන මාසය අවසන් වීමට පෙර මෙගා වොට් 300ක පමණ ධාරිතාවයක් රාජ්‍ය හා පුද්ගලික ආයතන සතු විදුලි ජනක යන්ත‍්‍රවලින් සපයාගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවලට එළඹීමට හැකි වේ යැයි අපි විශ්වාස කරනවා.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment