විදුලිය ගාස්තු සියයට 67කට වඩා වැඩි කරන්න බැහැ

353

ලංවිම ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමෙන් යෝජනා

විදුලිය ගාස්තු ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා ක්‍රියාත්මක කළහොත් මාසික පරිභෝජනය ඒකක 30ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලිබිල රුපියල් 507ක් දක්වා ඉහළ යන බවත් එය සියයට 835ක වැඩිවීමක් බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එසේම මාසික පරිභෝජනය ඒකක 30ට වැඩි 60ට අඩු අයගේ සාමාන්‍ය මාසික බිල්පත රුපියල් 1488ක් දක්වා ඉහළ යන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 673%ක ගාස්තු ඉහළ යෑමක් බවත් සඳහන් කරයි.

ඒ අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් කැඳවා තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මෙසේය.

බහුතර ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා සහනයක් වශයෙන් අදාළ ගාස්තු වැඩිකිරීම සියයට 67%කට නොවැඩි විය යුතුය.

‘මාසික විදුලි පරිභෝජනය ඒකක 60ට වඩා අඩු ගෘහස්ථ විදුලි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.14කි. එය සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් 50% ක් පමණ වේ. මෙම විදුලි

පාරිභෝගික පිරිස සඳහා රුපියල් බිලියන 65ක සහනාධාරයක් සපයන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත. එම සහනාධාරය සැපයීම මගින් මාසික පරිභෝජනයට ඒකක 60ට වඩා අඩු කාණ්ඩය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ආකාරයේ විශාල ගාස්තු වැඩිවීමකින් වැළකී සිටිය හැකිය.

ලංවිම යෝජනාවට අනුව මාසික පරිභෝජනය ඒකක 30ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 507ක් දක්වා ඉහළ යනු ඇත. එය සියයට 835ක වැඩිවීමක්. මාසික පරිභෝජනය ඒකක 30ට වැඩි 60ට අඩු අයගේ සාමාන්‍ය මාසික බිල්පත රුපියල් 1488ක් දක්වා ඉහළ යයි. ප්‍රතිශතයක් වශයෙන් එය 673% ක ගාස්තු ඉහළ යෑමකි. මේ සහනාධාරය මත එවැනි ගාස්තු වැඩි කිරීමක් වෙනුවට ඒකක 30 ට අඩු පාරිභෝගිකයන් සඳහා සමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227ක් හා ඒකක 30ට වැඩි ඒකක 60ට අඩු පාරිභෝගිකයන් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 658ක මට්ටමේ පවත්වාගත හැකිය. ඒ අනුව එම කාණ්ඩ දෙක සඳහා පිළිවෙළින් ගාස්තු ඉහළ යෑම 320% ක් හා 242%ක් මට්ටමට අඩු කළ හැකිය.

සමස්ත ගෘහස්ථ අංශය සඳහා සියයට 138ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර ඇත. එය සියයට 67කට වඩා නොවැඩි විය යුතුය. පොදුකාර්ය කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් සඳහා සියයට 45ක් ද, කර්මාන්ත අංශයේ විදුලි පාරිභෝගිකයන් සඳහා සියයට 61ක් ද, හෝටල් අංශය සඳහා සියයට 43ක් ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 43ක් ද, ආගමික ස්ථාන සඳහා සියයට 189ක් ද වශයෙන් විදුලි ගාස්තු වැඩිකිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.

යෝජිත ගාස්තු සංශෝධනය අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 18.14 සිට රුපියල් 32.48ක් දක්වා 82%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉලක්ක කර තිබේ.

“මෙම ගාස්තු සංශෝධනය මගින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 512ක වාර්ෂික ආදායමක් ඉලක්ක කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශය වනුයේ සාමාන්‍ය විදුලි ඒකකයක මිල රුපියල් 28.14 වඩා ඉහළ නොදැමිය යුතුය. ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා මෙහෙයුම් පිරිවැය සියයට 10කින් අඩුකර එම ඉතිරිකිරීම භාවිත කර වැඩි වශයෙන් පුනර්ජනනීය විදුලිය පද්ධතියට ලබාගැනීමට ක්‍රියාකළ යුතුය”

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment