විදුලිය-ඩොලර් අර්බුද නිසා වැහෙන කර්මාන්ත

166

ව්‍යාපාරික ස්ථාන 20000ක් අනතුරේ

කර්මාන්තශාලා රැසක් මෙරට ශාඛා ඉවත්කර ගනී

ලක්‍ෂ ගණනකට රැකියා අහිමි වේ

කලකට ඉහතදී මෙරට ප්‍රධාන අපනයන භාණ්ඩ වූයේ තේ, පොල්, රබර්ය. එසේම ප්‍රධාන ආදායම් මාර්ග වූයේද තේ, පොල්, රබර් සහ කුළුබඩු අපනයනයි. නමුත් ඉවක් බවක් නොමැතිව පොල් ඉඩම් අක්කර දහස් ගණන් කට්ටිකර විකිණීමත් සමඟ අපනයන කරනවා තබා මෙරට ජනතාවගේ පරිභෝජනයටත් පිටරටින් පොල් ආනයනය කරන්නට සිදුව ඇත. රබර් වගාවට කණ කොකා හැඬලුවේ මෙරට එක්තරා කාලයක සිටි අග්‍රාමාත්‍යවරයෙක් පිටරටින් කෘතිම රබර් ආනයනය කරන්නට පටන් ගැනීමත් සමගය. රබර් ඉඩම් හිමියෝ මිල පහළ බැසීමත් සමඟ රබර් ගලවා වෙනත් භෝග වවන්නටත් ඉඩම් කට්ටිකර විකුණන්නටත් පටන් ගත්හ. යම් තරමකින් හෝ මෑතක් වන තුරුම මෙරටට ලොකු හයියක් වූයේ “තේ’‘ ය. නමුත් “සර්” ගේ දඩිබිඩි වැඩ නිසා සහ මෙරට කූට ජාවාරම්කරුවන් නිසා මෙරට තේ වෙළෙඳ පොළද අද වනවිට අහිමිව ගොස් ඇත.

දැන් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්න ඉතිරිව ඇත්තේ කලකට ඉහත සුද්දන්ට ජංගි මහනවා යැයි සරදමට ලක්කළ ඇඟලුම් කම්හල් හා තවත් ක්‍ෂේත්‍ර කිහිපයක කම්හල් සුළු ප්‍රමාණයක් පමණි. නමුත් ඒවායේද ප්‍රාණ වායුව තව කොපමණ කල් පවතීද යන්න සැක සහිතය. ඒ එදා “සර්” ගේ තීන්දු තීරණවල අඩුව පිරවීමට මෙදා ඒ අඩි පාරේම යන ගෝලයෝ රොත්තක් බිහිව ඇති බැවිනි. රට මෙතරම් අන්තිම අඩියට වැටී ඇති මොහොතක සිදුකළ යුතුව ඇත්තේ ඉතිරිව තිබෙන කර්මාන්ත ශාලාවලට ප්‍රාණ වායුව පිඹීමය. නමුත් අදවනවිට සිදුවන්නේ එම කම්හල් කරුවන්ගේ ගෙල මිරිකා මරා දැමීමය. එසේත් නැතිනම් උක් දණ්ඩක් මිරිකා පැණි ලබාගන්නා සේ රොඩ්ඩක් වන තුරුම මෙරට ව්‍යාපාරිකයන් මිරිකා යුෂ උරා බීමය. පාලකයන් බදු අය කළ යුත්තේ මළ නොතලා රොන් ගන්නා ලෙසය. නමුත් අදවනවිට බිහිවන ආණ්ඩු රොන් ගන්නේ මල් තලා පොඩිකර සුණුවිසුණු කරමිනි.

● කොරෝනා වලින් වුණ බලපෑම

කොරෝනා වසංගතය පැමිණීමත් සමඟ මෙරට සෑම ක්‍ෂේත්‍රයකටම දැඩි බලපෑමක් එල්ල කළේය. ඒ අතරින් විශේෂම බලපෑමක් ඇති වුණේ ඇඟලුම් කම්හල් වෙතයි. කොරෝනා රැල්ල ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට පටන් ගත්තේද ඇඟලුම් කම්හලක් මුල්කොටගෙනය. ලොව පුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග විදෙස් රටවලින් ඇඳුම් පැළඳුම් සඳහා පැවැති ඉල්ලුම අඩුවීමත් සමග කුඩා කර්මාන්තශාලා රාශියක් වැසී ගියේය. ඊට අමතරව ඒ වනවිට වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑම නිසා සේවකයන් වෛරසයට ගොදුරුවීම මෙන්ම රැකියාවලින් ඉවත්වීම නිසාද කර්මාන්තශාලා රැසක් වැසී යන තත්ත්වයට පත්වූහ.

● ඩොලර් හා ඉන්ධන අර්බුදය

කොරෝනා ව්‍යසනයෙන් යාන්තම් ගොඩඑමින් සිටි රට මෙන්ම කර්මාන්තශාලාවලටද ඊළඟට හෙනහුරාගේ බැල්ම වැටෙන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. ඒ රට තුළ ඇතිවූ උග්‍ර ඩොලර් හිඟය හා ඉන්ධන අර්බුදයයි. මෙරට කර්මාන්තශාලා බොහෝමයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්නේ විදෙස් රටවලිනි. විශේෂයෙන් ඇඟලුම් කම්හල් සඳහා අවශ්‍ය සියලුම දේවල් ගෙන්වන්නේ පිටරටිනි. ඩොලරයේ අගය ඉහළ යෑමත් සමග උග්‍ර ඩොලර් හිඟයක් ඇතිවී බෙහෙතකට ඩොලරයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය. ඒත් සමග අමුද්‍රව්‍ය හිඟ වී කර්මාන්තශාලා පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවිය. ඊළඟට ඉන්ධන කඳුළක් රටේ කුමන ප්‍රදේශයකින්වත් සොයා ගැනීමට නොහැකි තරමට ඉන්ධන අර්බුදය උග්‍රවිය. ඉන්ධන අර්බුදයත් සමඟ මුළු රටම දින කිහිපයකට එක තැන නතර විය. ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමත් සමඟ කර්මාන්තශාලාවලට ඉන්ධන අර්බුදයෙන් නැවත වරක් දැඩි මරු පහරක් එල්ල කළේය. විශේෂයෙන්ම තේ දලු කර්මාන්තයට ඇතිවුණු දැඩි බලපෑම් හේතුවෙන් (ඉන්ධන හා අදූරදර්ශී පොහොර තහනම) තේ අස්වැන්න 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේ ශීඝ්‍රයෙන් පහත වැටී ඇත. අපගේ තේ වලට ඇති ඉල්ලුම සපුරාගත නොහැකි වූ විට එම අඩුව පිරවීමට ඉන්දියාව හා කෙන්යාව සූදානමින් සිටී. විදෙස් වෙළෙඳපොළක් අහිමි වුවහොත් එය නැවත අත්පත්කර ගැනීම ලෙහෙසි නැත. ඇඟලුම් කර්මාන්තයද එසේය. අප හා තරගකාරීත්වයට එක්ව සිටින බංගලාදේශයේ නිෂ්පාදන පිරිවැය ලංකාවට සාපේක්‍ෂාව අඩුය. සේවක වැටුප් යටිතල පහසුකම් අඩු මිලට සපයාගත හැක.

සංචාරක කර්මාන්තයට ඉන්ධන අර්බුදය කුමන ආකාරයෙන් බලපෑම් එල්ල කළාදැයි කිවහොත් සංචාරකයන් මෙරටට ආවේ තම මව්රටින් එනවිට පාපැදිද අරගෙනය. එම ප්‍රවෘත්තිද ආණ්ඩුව මහ ඉහළින් පෙන්නුවේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන්නාක් මෙනි. ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණ නිසා සංචාර කර්මාන්තයද බින්දුවටම වැටිණි. අවසන් සංචාරකයාද මෙරටින් යන තැනට වැටී සිටි රටක පාලකයන් සංචාරකයන් රඳවා ගැනීමට වඩා උනන්දු වූයේ රටින් පිට කිරීමටය. විදුලි විසන්ධි කරන කාලය දිගුවීමත් සමඟ පැය ගණන් සංචාරකයන්ට කළුවරේ සිටීමට සිදුවිය. ඉටිපන්දම් එළියෙන් කෑම කන්නටත් පත්තර කෑල්ලකින් පවන් සලමින් දාඩිය නිවා ගන්නටත් සිදුවිය. මේත් සමගම හෝටල් රාශියක් වසා දැමුණු අතර අදටත් සුවිසල් හෝටල් බොහෝමයක් ක්‍රියාත්මක නොවේ.

● විදුලි අර්බුදය

විදුලිය-ඩොලර් අර්බුද නිසා වැහෙන කර්මාන්ත

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා මෙන් දෙවරක්ම පීඩාවට පත්ව සිටි හෝටල්, කර්මාන්තශාලා, නිෂ්පාදන ආයතනවලට මෙවර බැට දුන්නේ විදුලි බිලයි. ඒ සියයට 75% ක වැඩිවීමකිනි. පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ විදුලි බිල් වැඩිකිරීමත් සමඟ ගෘහාශ්‍රිතව කුඩාවට කරගෙන ගිය සේවකයන් 5-10 වැඩකළ කුඩා නිෂ්පාදන ආයතනවලින් බොහෝමයක් වැසී ගියේය. නොයෙකුත් නිෂ්පාදන ආයතනවල උප කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කළ මෙම ආයතන මගින් බොහෝ පිරිසක් ජීවනෝපාය සලසා ගත්හ. විදුලිබිල වැඩිකිරීමත් සමඟ නිෂ්පාදන වියදම ඉහළ ගිය බැවින් මෙවන් කුඩා ආයතනවලට එම බර දරා ගැනීමට නොහැකිව වසා දමා ඇත.

● කර්මාන්තශාලා රටින් පිටවීම

මේ වන විට දේශීය මෙන්ම විදේශීය ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතන රාශියක්ම මෙරට පිහිටි තම කර්මාන්ත ශාලා මෙරටින් ඉවත් කරගෙන වෙනත් රටවලට ගෙන යෑමට සූදානම් වන්නේ මෙරට තුළ ඇති දරාගත නොහැකි පිරිවැය හේතුවෙනි. අද වනවිට උග්‍ර රැකියා කප්පාදුවක් සිදුවේ. ඒ නිසා මේ වනවිටත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අවස්ථා අහිමි වී ගොසිනි. විදුලි ගාස්තු ඉහළ දැමීමට අමතරව දිනෙන් දින වැඩිවන විදුලි කප්පාදුවක්ද සිදුවේ.

● යළි විදුලිය වැඩිවුණොත් කර්මාන්තශාලා රැසක් දැඩි අනතුරේ

දැන් නැවතත් ආණ්ඩුව 60%-65% අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු වැඩිකිරීමට සූදානම් වේ. මේ මිල වැඩි කිරීම මෙරට දැනට ඉතිරි වී තිබෙන කර්මාන්තශාලා ටිකත් වසා ගැනීමට මග පාදා ගැනීමකි. පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්‍ෂ කුමාර මහතා පැවසුවේ නැවත වරක් විදුලි ගාස්තු වැඩිකළහොත් ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත ටිකද වැසීයෑමේ අවදානමකට මුහුණදී ඇති බවයි.

පසුගිය කාලයේ ඇතිවූ ඉන්ධන අර්බුදය හේතුවෙන් කුඩා කර්මාන්ත 50% ක් පමණ වැසී ගියා. විදුලි ඒකකයක් සඳහා අයකළ ගාස්තුව රුපියල් 50 පමණ දක්වා ඉහළ යන බවත් පැවැසීය. රුපියල් 3000 ක විදුලි බිලක් ගෙවන කුඩා කර්මාන්තවල බිල රුපියල් 10,000 වනු ඇතැයිද ඒ මහතා පැවැසීය.

විදුලිබිල නැවත වතාවක් ඉහළ දැමුවහොත් ඒ මගින් සිදුවන බලපෑම හේතුවෙන් තවත් කම්හල් හා ව්‍යාපාරික ස්ථාන 20,000 ක් පමණ වැසී යනු ඇතැයි පුරෝකථනය කෙරේ. විදුලි බිල වැඩිවීමත් සමඟ හෝටල්, විවිධ කර්මාන්තශාලා, බේකරි වැනි ස්ථානවලට දැඩි බලපෑමක් එල්ල වේ. තේ කෝප්පයේ සිට සියලු ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යනු ඇත. එසේම ශීතකරණවල ගබඩා කොට තබන ආහාර ද්‍රව්‍ය වලටද මෙමගින් දැඩි බලපෑමක් එල්ල වේ. වඩු මඩුවක්, ලියවන පට්ටලයක්, වාහන සර්විස් සෙන්ටර් වැනි තම නිවසේම පැත්තක කුඩාවට කරගෙන ගිය තම ජීවන මාර්ගය අහිමිවනු ඇති.

● බදු බර

විදුලිබිල හා සමානවම කර්මාන්ත අංශය කෙරේ බලපෑම් එල්ලකොට ඇත්තේ අධික බදු බරයි. වැට් බද්ද, සෙස් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, සමාජ ආරක්‍ෂණ බද්ද ආදී ලෙසින් බදු වර්ග රාශියකින් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව හෙම්බත්වී සිටී. එකම භාණ්ඩයක් වරායේ සිට පාරිභෝගිකයාගේ අතට පත්වන මොහොත වන විට බදු වර්ග රාශියකට බදු ගෙවා තිබිය යුතුය. භාණ්ඩයේ නියම වටිනාකමට වඩා හතර පස් ගුණයක් බදු ගෙවිය යුතුය. ආණ්ඩුවට අවශ්‍ය රත්තරන් බිත්තර දාන කිකිළිය මරා එකවර බිත්තර ලබාගැනීමටය.

රටක සංවර්ධනය මැනවින් පිළිබිඹු කෙරෙන ක්‍ෂේත්‍රයකි ඉදිකිරීම් ක්‍ෂේත්‍රය. මේවනවිට ඉදිකිරීම් කර්මාන්තයද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය මේ වනතුරුත් යථා තත්ත්වයට පත්ව නැත. යකඩ, සිමෙන්ති උග්‍ර හිඟය මෙන්ම අධික ලෙස මිල ඉහළ යෑමක් සමඟ අඩපණ වූ ඉදිකිරීම් කර්මාන්තය යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම ලෙහෙසි නැත. රටක් වේගයෙන් දියුණු වනවානම් රට තුළ නව මංමාවත්, ගොඩනැඟිලි ආදිය ඉදිවනු දැකිය හැකිය. නමුත් අද ඒ කිසිවක් නැත. ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ බොහෝමයක් පිටරටින් ආනයනය කරනු ලබන ඒවාය. ඒවාට අධික ලෙස බදු පනවා ඇත. එසේම මේ වනවිට දිනෙන් දින වැඩිවන විදුලි බිලද මෙම කර්මාන්තය සඳහා බලපෑම් කරයි.

ආණ්ඩුව කියන ආකාරය 60% – 65% කින් විදුලි බිල වැඩි නොකෙරුවත් ඊට ආසන්න අගයකින් හෝ වැඩිවේවි යැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ වලින් සනාථ වේ. කුමන අගයකින් වැඩි කෙරුවත් මේ වනවිට රටේ සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවටද එය කිසිසේත් දරාගත නොහැක. ආණ්ඩුව මේ අවස්ථාවේ කළ යුත්තේ විදුලිබිල වැඩිකිරීම නොව විදුලි නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට යොමුවීමයි. එසේම පවතින වංචාව දූෂණය අවමකර ගැනීමයි. කර්මාන්ත ශාලා වෙත පොලී රහිතව සූර්ය පැනල පද්ධති ලබාදී ජාතික පද්ධතියේ බර හෑල්ලු කිරීමයි. එසේ නොමැති වුවහොත් විදුලි බිල වැඩිකළොත් අවසන් හුස්ම හෙළන කර්මාන්තශාලා ටික සදාකාලික ලෙසම අපට අහිමිවනවා නිසැකය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment