විදුලිය පාවිච්චි කරන්නන්ගේ විරෝධතාවට ඇමැති ලේකම් ඇතුළු පිරිසකගෙන් මැර ප්‍රහාරයක්

295

ගෙවල්වලටත් රතිඤ්ඤා පත්තු කර දාලා

විදුලි බිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසඳුම් ඉල්ලා විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පෙරේදා (19 දා) සවස දිවුලපිටිය ගොඩිගමුව ප්‍රදේශයේ පැවති විරෝධතාවට රාජ්‍ය ඇමැතිවරයකුගේ පුද්ගලික ලේකම්වරයකු ඇතුළු මැර පිරිසක් පහරදීම නිසා තුවාල ලැබූ සංගමයේ නියෝජිතයකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

තම සංගමයේ සාමාජිකයන් විරෝධතාවට රැගෙන ගිය පුවරු ද මැරයන් විසින් පැහැරගත් බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. තමන් ඇතුළු පිරිසට පහරදීමට කටයුතු කළේ පොහොට්ටුවට සම්බන්ධ පිරිසක් බව ද ඔහු කීය.

මෙම මැර ප්‍රහාරය එල්ල කිරීම සඳහා රාජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙක් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණ සිටි බව ද ඔහු කීය.

මැරයන් පහරදෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද ඒ අසල රාජකාරියේ යෙදී සිටි බවත් ඔවුන්ව ද නොසලකා පහරදුන් එම මැරයන් අතේ පොලු මුගුරු තිබූ බවත් ධම්මික මහතා කීය.

මෙම මැරයන් සංගමයේ සාමාජිකයන්ට පහරදීමෙන් පසු ඔවුන්ගේ නිවෙස්වලට ද රතිඤ්ඤා පත්තු කර දැමීමට කටයුතු කර ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසියට පැමිණිලි කළ බව ද ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment