විදුලි අර්බුදයට ඉංජිනේරුවන් වගකිව යුතුයි: ජනන සැලැස්ම කි‍්‍රයාත්මක නොකිරීම ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න

175

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

දෙදහස් දාහතර වසරේ අවසානයේ සිට දෙදහස් දහනවය දක්වා ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොකළ විදුලි ඉංජිනේරුවන් වර්තමාන විදුලි අර්බුදයට වගකිව යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊයේ (21 දා) චෝදනා කළේය.

ඇතැම් ඉංජිනේරුවන් ඞීසල් මාෆියාවට යටවී ජනන සැලැස්ම ක‍්‍රියාත්මක කළේ නැතැයි ද හෙතෙම චෝදනා කළේය.

ඒ අනුව කැබිනට් අනුමැතිය ද හිමිව තිබූ මෙගා වොට් දෙදහසක ව්‍යාපෘති රටට අහිමි වුණ බව ද සංජීව ධම්මික මහතා කීවේය. සංජීව ධම්මික මහතා මෙසේ ද කීවේය සෞභාග්‍යයේ දැක්මේ තියනවා 2030 වන විට සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්තිය ඇති කරනවා කියලා. මේක විදුලි බල මණ්ඩලේ පිළිගන්නවද නැද්ද කියලා අපි ප‍්‍රශ්න කරන්න කැමතියි. පිළිගන්නවා නම් ඒ පිළිබඳව ඇති සැලැස්ම වහාම රටට හෙළි කළ යුතුයි. 2007 දී ආරම්භ කළ එල්එන්ජී බලාගාර ද මේ වන තෙක් ස්වභාවික වායු මගින් කි‍්‍රයාත්මක වන තත්ත්වයට පත් කරලා නෑ. තාමත් ඒවා දුවන්නෙ ඞීසල්වලින්. මේව කළා නම් මේ අර්බුද එන්නේ නෑ.

ඒක නොකළේ විදුලි ඉංජිනේරුවරු. මෙගාවොට් 35 බැගින් වූ ගෑස් ටර්බයින් තුනක් 2019 වසරේදී අවසන් කරන්න තිබුණා. ඒක කළේ නෑ. 2016 දී මෙගාවොට් 1000ක සෝලා සංග‍්‍රාමය ද කඩාකප්පල් කරන්න ඇතැම් ඉංජිනේරුවන් කටයුතු කළා. එහෙම අයට විරුද්ධව බලධාරීන් නීතිමය පියවර හෝ විනයානුකූල පියවර නොගන්නේ ඇයිද යන්න අපිට ප‍්‍රශ්නයක්. මෙගාවොට් 125ක් පමණ වන කුඩා ජල විදුලි බලාගාර ඉදිකරන්න ජනන සැලසුම් තිබුණා. ඒවා කළෙත් නෑ. මේවාට ඉංජිනේරුවා වගකිව යුතුයි කියා මා චෝදනා කරනවා. මෙවැනි තවත් ව්‍යාපෘති කඩාකප්පල් වුණා. මේ ගැන බලධාරීන් වහාම සොයා බැලිය යුතුයි. මේවා ක‍්‍රියාත්මක නොකර ‘‘අද පැයක් ලයිට් කපනවා. දෙකක් ලයිට් කපනවා’’ කියන්න විදුලිබල මණ්ඩලයට අයිතියක් නෑ. එහෙම කියන්න විදුලි ඉංජිනේරුවන් ඉන්න ඕනේ නැහැ.

දැන් මණ්ඩලය කියනවා විදුලි පාරිභෝගිකයෝ බිල් ගෙවලා නෑ කියලා. එහෙම වුණේ කොවිඩ් අර්බුදය නිසා. එහෙමයි කියලා ලයිට් කපනවා නම් වැරදියි. විදුලි සම්බන්ධතාවක් නිවසට ලබාගැනීමේදී සෑම පාරිභෝගිකයකු තැන්පතු මුදලක් තියෙනවා. එයට විදුලිබල මණ්ඩලය මාසිකව පොලිය ගෙවිය යුතු බව විදුලිබල පනතෙ සඳහන්. ඒත් කවදාවත් බලධාරීන් විදුලි පාරිභෝගිකයන්ට එහෙම පොළියක් ගෙවලා නෑ. දැන් ඒ තැන්පතුවල එකතුව කෝටි තුන්දාහක් වෙනවා. විදුලි බිල් ගෙවපු නැති අය ඉන්නවා මේ අමාරු අවස්ථාවේ අරමුදලේ මුදල් විනිවිදභාවයකින් මණ්ඩලය පාවිච්චි කළාට විදුලි පාරිභෝගිකයන් විරුද්ධ වෙන එකක් නෑ. ඒ නිසා ලයිට් කපන්නේ නැතිව විදුලිය දෙන්න. විදුලිය විසන්ධි කළාම එක ඒකකයක් සඳහා විදුලි පාරිභෝගිකයන්ට වන පාඩුව රුපියල් එකසිය විස්සක් බවට මහජන උපයෝගිතා කොමිසම ගණන් බලා තිබෙනවා.

ඒ නිසා දිගින් දිගටම ලයිට් කැපුවොත් ඒ මුදල් අය කර ගැනීමට අපි අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්න වුණත් සූදානම්. එක දවසක් ලයිට් කැපුණොත් රටේ ආර්ථිකයට වන පාඩුව මිලියන 800ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. ඒ නිසා විදුලිය කැපීම විසඳුමක් නොවෙයි. විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාත්මක නොකිරීම ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි කියා අප යෝජනා කරනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment