විදුලි අර්බුදයෙන් කලුවරේ ඉන්න වෙයිද… ගමන් බිමන් නවතියිද?

224

ගෝඨාභය රාජපක්‍ෂ රජය මෙන් බලයට පත්වූ දා සිට දරාගත නොහැකි තරමේ අභියෝගයන්ට මුහුණ දුන් ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේද නොතිබෙන්නට ඇත. ආණ්ඩුව ඉදිරියට පැමිණි අභියෝග ඒ තරමටම ප‍්‍රබල විය.

මේ අතරිනුත් කොරෝනා වසංගත තත්ත්වය යනු මුළු රටම එකතැන නතරවන තන දක්වාම ඇදී ගිය එකකි. මුළු ලෝකයේම තත්ත්වය එසේ විය. එහෙත් කොරෝනා හමුවේ රටේ ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කරනු පිණිස නම් වත්මන් ආණ්ඩුව රජයකට කළ හැකි උපරිමය කළේය.

අප කවුරුත් ඒ සත්‍යය පිළිගත යුතුය. මේ රටේ ජනතාවට කඩිනමින් එන්නත් ලබා දෙමින් ආණ්ඩුව එසේ කොරෝනා සමඟ කළ සටනේදී වැයවන ඩොලර් පිළිබඳවවත් කල්පනා කළේ නැත. එකම අරමුණ වූයේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කිරීමය.

අද දවසේ ආර්ථීකය කඩා වැටීම හේතුවෙන් විවිධ ශ්‍රේණිගත කිරීම්වලදී ශී‍්‍ර ලංකාව ඍණාත්මක තැනකට ඇද දමා තිබුණද කොරෝනා වසංගතය හමුවේ මෙරට තුළ කි‍්‍රයාත්මක වූ එන්නත්කරණ වැඩපිළිවෙළ ලෝකයේම ප‍්‍රශංසාවට ලක්විය. එය අවිවාදිත කරුණකි. එහෙත් මේ මොහොතේ රජය මුහුණ දී සිටින යම් යම් ගැටලූවලට ලෝක වසංගතයක් වූ කොරෝනා ප‍්‍රබලම සාධකය වුවද සියලූ ප‍්‍රශ්නවලට හේතුව වූයේ එයමද?

එය පැහැදිලි ගැටලූවක් බවට පත්ව තිබෙන්නකි. අද රට ඉදිරියේ පවතින ඇතැම් ගැටලූවලට ආණ්ඩුවේ හිතුවක්කාරී සහ ඇතැම් අවස්ථාවල සිදුවන ඇල්මැරුණු කොඳු බිඳගත් ප‍්‍රතිපත්තීන් හේතු වී නොතිබේද?

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඇතිවූ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව මුහුණ දුන් අර්බුද අතරින් මේ මොහොතේ තිබෙන බරපතළම ඒවා බවට පත්ව තිබෙන්නේ තෙල් සහ විදුලි අර්බුදයන්ය. සංචාරක කර්මාන්තය යළි ආරම්භ වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මේ වන විට රට පවතින්නේ කොරෝනා නිසා කඩා වැටුණු අර්ථිකය යළි ක‍්‍රමයෙන් හිස එසවීමේ ආරම්භක අවස්ථාවකය.

එම තත්ත්වය තුළ මේ වන විට පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය රටටම දැනෙන තැනකට ඇදී ගියහොත් යළිත් ආර්ථික වශයෙන් කඩාවැටීමක් සිදුවීම කිසිවකුටත් වැළැක්විය නොහැකි එකක්ම වනු ඇත.

මෙහිදී ඉන්ධන අර්බුදය යන්න පිළිබඳ කතා කිරීමේදී එයට ප‍්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ කොරෝනා නිසා ආර්ථිකය කඩා වැටීමෙන් ඇතිවූ ඩොලර් හඟය බව කියන්නට තිබෙන සත්‍යය වේ. එක් වරකට ඉන්ධන ආනයනය සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය පනහත් හාරසියයත් අතර මුදලකි.

ඩොලර් හඟයකට රට මුහුණ දී සිටියදීත් එතරම් විශාල ඩොලර් ප‍්‍රමණයක් වැය වුවද මේ දක්වාම රටේ ඉන්ධන හඟයක් ඇති නොවන පරිදි තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රජය පියවර ගෙන ඇත.

එසේ වුවද සියල්ල අඩාල වී රට තුළ ඉන්ධන හඟයක් ඇතිවීමේ නියත අර්බුදයක පෙරනිමිති නම් මේ වන විට පහළ වී අවසන්ය. එය කොයි මොහොතේ සිදුවේදැයි නිශ්චිත නැති වුවද රට තවමත් එකී අර්බුදකාරී තත්ත්වයෙන් නම් ගැළවී ගොස් නැත.

මෙය මේ මොහොතේ රට තුළ පවතින ඉන්ධන අර්බුදයේ සැබෑ කතාව වී ඇත. එහෙත් රටේ ඉන්ධන කතාව එසේ වුවද දෛනිකව විදුලිය කපා දමමින් රටම පීඩාවට පත් කරන විදුලි අර්බුදයේ කතාව තිබෙන්නේ එයට හාත්පසින්ම වෙනස් වූ තැනකය. මේ වන විට රටපුරා විදුලි කප්පාදුවක් සිදුවන්නේ ඇයි? ඉන්ධන අර්බුදයට මෙන් එයට කොරෝනා වසංගතය හේතු වූවේද?

නැත. එයට එකම හේතුව වූයේ ලංකා විදුලිබල මණ්ඩලය සිය මව්පිය උරුමයෙන් ලද බූදලයක් යැයි සිතා කි‍්‍රයාත්මක විදුලි ඉංජිනේරු ත‍්‍රස්තවාදය යැයි අපි නොබියව කියන්නෙමු. වත්මන් විදුලි අර්බුදය මෙවර ආරම්භ වූයේ ඉකුත් දෙසැම්බර් තුන්වැනිදා රට පුරා එකවරම හදිසියේ සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමගිනි.

එකී විදුලිය බඳ වැටීම හිතාමතා සිදු කෙරුණු කඩාප්පල්කාරී කි‍්‍රයාවක් බවට සිදුකරන ලද පරීක්‍ෂණ මගින් මේ වන විට තහවුරු වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඇතැම්හු පවසන්නාහ. ඒ පිටුපස සිටියේ හැමදාමත් පැවති රජයන්ට සහ රටේ ජනතාවට කරන්ට් වද්දවමින් කාලකණ්ණි හැසිරීමක යෙදුණු විදුලි ඉංජිනේරු ත‍්‍රස්තවාදය බවද ඔවුහු කියන්නාහ.

එහෙත් සියල්ල මෙසේ අනාවරණය වී තිබුණද එම විදුලිය බිඳ වැට්ටවීම සිදු කරමින් රට අගාදයට ඇද දැමූ ත‍්‍රස්තවාදීහු තවමත් නිදැල්ලේ සිටිති. වත්මන් ආණ්ඩුව ඇතැම් තැන්වලදී ඇල් මැරුණු සහ කොඳු බිඳගත් අකාරයෙන් කටයුතු කරන බවට අප චෝදනා කරන්නේද මෙවැනි දේ නිසාය.

මෙකී ත‍්‍රස්තවාදීන් නිසා ඇතිවූ වත්මන් විදුල අර්බුදය හමුවේ දේශපාලනික වශයෙන් පවා ආණ්ඩුවට අවාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී තිබුණද තවමත් රජය සිටින්නේ නිහ`ඩවය. එයට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන තෙක් මානයකවත් නැත.

ඉකුත් දෙසැම්බර් 03 වැනිදා විදුලි ඉංජිනේරු ත‍්‍රස්තවාදය විසින් සිදු කළ හදසි විදුලිය බිඳ වැට්ටවීමත් සමඟ රට තුළ මෙවැනි විදුලිය අර්බුදයක් නිර්මාණය වූයේ කෙසේද?

එයට එක් ප‍්‍රධානම හේතුවක් වූයේ අදාළ විදුලිය බිඳ වැටීමත් සමඟ මෙගාවොට් 900 ක ධාරිතාවක්් ජාතික පද්ධතියට එක්කෙරෙන නොරොච්චෝලේ බලාගාරයේ තිබූ අති නවීන තාක්‍ෂණයෙන් යුතු තුන්වැනි ජනන යන්ත‍්‍රය අකී‍්‍රව වීමය. එසේ අකී‍්‍රය වූයේ අවසානයට ස්ථාපිත කරන ලද නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත‍්‍රය ය.

මෙකී ජනන යන්ත‍්‍රය අකී‍්‍රය වූයේ හදිසි විදුලිය බිඳවැටීමත් සමඟ ඇති වූ තත්ත්වයක් හේතුවෙන් බව මුලදී සඳහන් විය. එහෙත් එයට අදාළ සත්‍ය කතාව ඉකුත් සතියේදී අනාවරණය විය. එම බලාගාරයේ සේවකයන් පවසන පරිදි එහිදී සිදුව ඇත්තේ එම ජනන යන්ත‍්‍රයේ අභ්‍යන්තරයේ වූ සාෆ්ටරය නමැත උපාංගයකට හානි සිදුවීමය.

එය සිදුවූයේ විදුලිය බිඳ වැටීම හේතුවෙන් නොව ජනන යන්ත‍්‍රයේ ලිහිසි තෙල් කි‍්‍රයාත්මක නොකර ධාවනය කිරීමෙන් බවද ඔවුහු සඳහන් කරන්නාහ. එසේම සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමඟ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත‍්‍රවලටද උපක‍්‍රමශීලීව හානි සිදු කිරීම වත්මන විදුලි අර්බුදයට තවත් හේතුවක් බවද සඳහන් වන්නේය.

තත්ත්වය මෙසේ වෙද්දී අද ආණ්ඩුවට සිදුව ඇත්තේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස කැලණිතිස්ස සහ සපුගස්කන්ද බලාගාරවල උත්පාදන කටයුතු සඳහා කඩිනම් ඉන්ධන සැපයීමක් සිදු කිරීමටය. එම තත්ත්වය ඇතිවී තිබෙන්නේ ඉනධන අර්බුදයක අභිමුවේ රටම සිටියදීය.

ඇතැම් අවස්ථාවල මෙහිදී ජනන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමට හැකියාව තිබියදී රජයට බර පටවනු පිණිස නැති ඉන්ධන හඟයක් මවාපෑමේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මක බව කැලණිතිස්ස බලාගාරයේ සේවකයෝම පවසන්නාහ.

මේ අන්දමින් සිදුකෙරෙමින් තිබෙන්නේ ඉහත කී පරිදි ඉන්ධන අර්බුදයක් වෙත රට තල්ලූ කිරීමේ කුමන්ත‍්‍රණයක්ද විය හැකිය. මේ වන විට රට පුරා ජලාශ පවතින්නේ ඒකක මිලියන හත්සියයක පමණ ජලවිදුලි උත්පාදනයක් සිදු කළ හැකි ජල ධාරිතාවකි.

එම ප‍්‍රමාණය සෑහෙන්නේ මාස දෙකක් වැනි කාලයකටය. එසේම දැනට ජලවිදුලිය මගින් ජාතික පද්ධතියට සියයට විස්සක පමණ විදුලිය ප‍්‍රමාණයක් එක් කෙරෙන්නේය. ඒ අනුව පවතින නියං තත්ත්වය හේතුවෙන් තවත් මාස දෙක තුනකදී ජලාශ සි`දී යෑමේ අවදානමක්ද මතුව ඇත.

මෙරට කාලගුණයට අනුව එළැඹෙන මැයි මාසය දක්වා වර්ෂාව ලැබීමක් නොමැතිව නියං තත්ත්වය පැවතීමට ඉඩ තිබීම එවන් අවදානමක් ඇතිවීමට හේතුවී ඇත. එවැන්නක් සිදුවුවහොත් තව තවත් ඉන්ධන ම`ගින් විදුලිය නිපදවීමට සිදුවීම හමුවේ රට පත්වන තත්ත්වය කුමක් වනු ඇතිද?

මේ වන විට විදුලිබල මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක ත‍්‍රස්තවාදය ඇත්තේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණවය. එහිදී ඔවුන්ගේ එක් ප‍්‍රබල ඉල්ලීමක් වී තිබෙන්නේ අලූතින් පත් කළ සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කළ යුතුයි යන්නය.

නියම කට්ටඩියා දුටු කල පෙරේතයන් කුම්භාණ්යන් වෙව්ලා යන්නේය. නව සාමාන්‍යාධිකාරීවරයා යනු විදුලිබල මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක ඉංජිනේරු ත‍්‍රස්තවාදයට එරෙහිව තදින් කි‍්‍රයාත්මක වන්නෙකි. ඒ අනුව අදාළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ යටි අරමුණ කුමක්දැයි දැන් කාටත් වටහාගත හැකිය.

සියල්ල මෙසේ වෙද්දී තවදුරටත් ආණ්ඩුව බකන්නිලාගෙන සිටියහොත් රටට සිදුවන විපත ඉතාම බරපතළ විය හැකිය. එනිසා වහාම කි‍්‍රයාත්මක වී මේ ත‍්‍රස්තවාදය අතුගා දමා විදුලිබල මණ්ඩලය සුද්ධ කිරීමේ වගකීම මේ මොහොතේ පැවරී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවටය.

අප බලා සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂ රජය රට වෙනුවෙන් ඒ ඓතිහාසික පියවර ගන්නාතුරුය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment