විදුලි කප්පාදුවෙන්  රෝහල් පද්ධතිය අර්බුදයක රෝහල් පද්ධතිය නිදහස් කරන්න

312

– වෛද්‍ය සංගම් කියයි

දෛනික විදුලි කප්පාදුවෙන් රෝහල් පද්දතිය ඉවත් කිරීමට රජය පියවර ගතයුතු බව වෛද්‍ය සංගම් කියයි.

ප‍්‍රධාන රෝහල්වල විදුලි ජනක යන්ත‍්‍ර පැවතියත් ඒවාට අවශ්‍ය ඉන්ධන නොකඩවා සැපයීමට බාධා පැවැතියහොත් රෝහල් පද්ධතියම දැඩි අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය සංගම් පෙන්වා දෙයි.

කොවිඞ් එන්නත් ඇතුළු එන්නත් ගබඩාකර ඇති ශීතකරණ, දැඩිසත්කාර ඒකක, ඔක්සිජන් සැපයීම, ශල්‍යකර්ම සිදුකිරීම සහ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත විදුලිය සැපයීම අඛණ්ඩව සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳව නිසි අවධානයක් ගෙන කටයුතු කළ යුතුව ඇතැයි ද වෛද්‍ය සංගම් අවධාරණය කර සිටී.

මේ පිළිබඳව ‘දිවයින’ට ඊයේ (23 දා* අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා මෙසේ පැවසීය.

අපේ රටේ ප‍්‍රධාන රෝහල් තුළ පමණයි ජෙනරේටර් භාවිතයට ගැනෙන්නේ. නමුත් එන්නත් තිබෙන රෝහල්වලට ශීතකරණ පවත්වාගෙන යෑමට විදුලිය අත්‍යවශ්‍යයි. ජාතික රෝහලේ නම් දිගට ම විදුලිය සැපයෙනවා. නමුත් මේ මොහොතේ පවතින කොවිඞ් තත්ත්වය සමග සෑම

රෝහලකට ම විදුලිය අත්‍යවශ්‍යව තිබෙනවා. විදුලි ජනන යන්ත‍්‍ර තිබුණත් ඒවායේ හදිසි බිඳ වැටීම් සිදුවිය හැකියි. ඒ වගේම ඒවාට ඉන්ධන සැපයීමක් අඛණ්ඩව සිදුකළ යුතුයි. එසේ නොමැතිව මේ ප‍්‍රශ්නයට වෙනත් විකල්ප නැහැ. නැත්නම් රෝහල් පද්ධතිය මේ විදුලි කප්පාදුවෙන් නිදහස් කළ යුතුයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා-

පැය හතරකට වඩා විදුලිය විසන්ධි කළොත් අපේ රෝහල් පද්ධතිය ම දැඩි අර්බුදයකට ලක් වෙනවා. දැනට රෝහල් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන ගියත් රෝහල්වලට අත්‍යවශ්‍ය විදුලි ධාරිතාවන් ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යෑම ඉතා වැදගත්.

විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවල විදුලි ජනන යන්ත‍්‍ර මගින් විදුලිය සැපයුවත් ඒවාත් අකි‍්‍රය වීමේ අවධානමක් පවතිනවා. මේ සියලූ කාරණා සලකා බලා පවතින විදුලි අර්බුදයෙන් රෝහල් පද්ධතිය පූර්ණ ලෙසම ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුව තිබෙනවා. නැත්නම් ඇතිවන තත්ත්වය ඉතා අනතුරුදායකයි.

මේ අතර විදුලිය කප්පාදුව නිසා රෝහල් පද්ධතියට වන බලපෑම අවමකර ගැනීමට අවශ්‍ය ඉන්ධන තබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ඊයේ (23 දා) රෝහල් පාලනාධිකාරිවලින් ඉල්ලීමක් කළේය.

විදුලි කප්පාදුවක් සිදුවුවත් මේ වනවිට සෑම රෝහලකම සහ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල විදුලි ජනන යන්ත‍්‍ර පවතින නිසා රෝගීන්ට සිදුවන අපහසුතා අවම කරගත හැකි බව ඒ මහතා කීය. රෝහල්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවාව සඳහා ඉන්ධනහල්වලින් ඉන්ධන ලබාදීමේදී ප‍්‍රමුඛතාවයක් පවතින බවද ඒ මහතා කීය.

විදුලි කප්පාදුව ගැන සති කිහිපයකට පෙර සිට ම කතාබහකට ලක්ව තිබූ බවත් එය සැලකිල්ලට ගෙන රෝහල්වල විදුලි ජනන යන්ත‍්‍රවලට අවශ්‍ය ඉන්ධන තබා ගැනීමට රෝහල් කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment