විදුලි කප්පාදු ඉල්ලීම ඉවතට

167

ඉදිරි මාස තුනක කාලයේ විදුලි කප්පාදුවකට යෑමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ඉවත දැමූ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විදුලි සංරක්‍ෂණය හා විදුලි භාවිතය සීමා කිරීමට අදාළ අනිවාර්යයෙන් ක‍්‍රියාත්මක කළ යුතු නියෝග මාලාවක් ඊයේ (15 දා) නියම කළේය.

ඒ අනුව සියලූ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ යන්ත‍්‍ර පස්වරු 2.30 සිට පස්වරු 4.30 තෙක් ක‍්‍රියා විරහිත කළ යුතු බවට ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් නිර්දේශ කර ඇත.

මීට අමතරව රටපුරා දැල්වෙන වීදි පහන්වලින් සියයට අසූවක් නිවා දැමීමට පියවර ගන්නා ලෙස පළාත් පාලන ආයතන හා මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

විදුලි ජනන යන්ත‍්‍ර සතු ආයතන සිය විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමේදී එම විදුලි ජනන යන්ත‍්‍ර භාවිතය අනිවාර්ය කිරීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ඇති කොමිසම ඒ ආකාරයට විදුලි ජනන යන්ත‍්‍ර භාවිතා කර විදුලිය පිරිමසා ගන්නා ආයතන සඳහා යම් ගෙවීමක් කළ යුතු බවටද නිර්දේශ කර ඇත.

යම්කිසි ආකාරයකින් විදුලි කප්පාදුවක් කළ යුතු නම් එවැනි අවස්ථාවක විදුලි ජනන යන්ත‍්‍ර හිමි තොග පාරිභෝගිකයන් ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කළ යුතු බවද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අනිවාර්යයෙන් ක‍්‍රියාත්මක කළ යුතු මෙම ක‍්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි කරමින් ඊයේ (15 දා) කොළඹදී අවධාරණය කර සිටියේය.

ආයතන සතු විදුලි ජනන යන්ත‍්‍ර භාවිතා කර ඒ අයගේ විදුලි අවශ්‍යතා පිරිමසා ගන්නේ නම් ඉන් මෙගාවොට් 300 ක විදුලි බලයක් ඉතිරි කරගත හැකි බවද ඒ මහතා කීය.

බලාගාර සඳහා අඛණ්ඩව ඉන්ධන ලැබීම හා බලාගාර හදිසියේ අක‍්‍රීය නොවන පදනම මත පිහිටා මෙයාකාරයට අඛණ්ඩව රටටම විදුලිය ලබාදීම මෙමගින් අපේක්‍ෂා කරන බවත් හදිසියේම පද්ධතියෙන් මෙගාවොට් 200 ක් පමණ ඉවත් වුවහොත් පැයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවද ඒ මහතා කීය.

මෙගාවොට් 300 ක් ජාතික පද්ධතියෙන් හදිසියේ ඉවත් වුවහොත් පැය එකහමාරක කාලයකට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය. මෙගාවොට් 400 ක් පද්ධතියට අහිමිව ගියහොත් පැය දෙකක් විදුලිය කපා හැරීමට සිදුවන බවද ඒ මහතා කීය.

නමුත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලබාදී තිබෙන නියෝග පිළිපැදීමෙන් හා දැඩි සංරක්‍ෂණ ක‍්‍රියාමාර්ග නිසි පරිදි ක‍්‍රියාත්මක කළහොත් විදුලි කප්පාදුව වළක්වා ගත හැකි යැයි ද කොමිසමේ විශ්වාසය වී තිබේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා මෙසේද කීය.

විදුලිය කපන්න සිදුවෙන්නේ බලාගාර සඳහා ඉන්ධන නැතිව ගියහොත් හෝ බලාගාර අක‍්‍රිය වුවහොත්. අත්‍යවශ්‍ය කරුණකට හැරුණු කොට වෙනත් කිසිදු හේතුවක් නිසා නඩත්තු කටයුතු සඳහා බලාගාර පද්ධතියෙන් ඉවත් නොකරන ලෙස අපි ලංකා විදුලිබල මණ්ඩලයට අනිවාර්ය කළා. අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමග සාකච්ඡා කළා. ඔහු එකඟ වුණා ඉන්ධන නැවක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමතර ගාස්තුවකින් තොරව. ඒ වගේම ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සපයාදීමට ද ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති එකඟ වී තිබෙනවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මත රඳා නොසිට විදුලි ජනනය සඳහා අවශ්‍ය ඞීසල් ඇතුළු ඉන්ධන සෘජුව ආනයනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට පහසුකම් සැලසෙනවා. මේ ක‍්‍රියාමාර්ගය ද විදුලි කප්පාදුව වැළැක්වීමට උපකාරී වෙනවා.

ඉහත අනිවාර්ය ක‍්‍රියාපටිපාටිය අනුගමනය කර මෙම මාස 3 තුළදී අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බවත් ඒ නිසා හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවක් පැනනොනගින බවත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවධාරණය කරනවා. හදිසි විදුලිය මිලදී ගැනීම්වලින් තොරව විදුලි සංරක්‍ෂණය සහ ඉහත අනිවාර්ය ක‍්‍රියාපටිපාටිය තුළින් මහජනතාවට බරක් නොවී විදුලි අර්බුදය විසඳා ගත හැකි බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ස්ථාවරයයි.

චමින්ද සිල්වා සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment