විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් ගල් අඟුරු තෙල් මුදලාලිලාගේ කරල පැහුණා

219

ජනපතිගේ චෝදනා පහම ප්‍රතික්ෂේප කරනවා
පාර්ලිමේන්තුවේ 113 කින් මිස මා ඉවත් කරන්න බැහැ

  • මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක කියයි

මුදල් ඇමැති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් තමා වෙත එවා තිබෙන චෝදනා පත්‍රයෙහි අඩංගු කාරණා ප්‍රතික්ෂේප කරන බවත් තමා මෙම තනතුරෙහි තවදුරටත් සිටින්නේ නම් එක් අධිකරණයකට නොව අධිකරණ දහයකට හෝ ගොස් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන කොමිසමේ අයිතීන් සුරක්ෂිත කරන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

කොල්ලුපිටිය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) කාර්යාලයේ ඊයේ (28වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

තමාට එරෙහි චෝදනා පහක් ඇතුළත් කර පිටු දෙකකින් යුත් චෝදනා පත්‍රය ඉකුත් 22 දා ලැබුණු බවත් දින හතක් තුළ ඊට පිළිතුරු දෙන ලෙස සඳහන් කර තිබුණු නිසා පිටු විසිපහක සවිස්තරාත්මක පිළිතුරු පත්‍රයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බවත් ඒ මහතා කීය.

උසස් පෙළ විභාගය පවත්වන දිනවල විදුලිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම, අත්තනෝමතිකව ක්‍රියා කිරීම, තමාට අයත් ට්‍රිලියන් හෝටලය හරහා විදුලිය විකිණීම, පෙබරවාරි මාසයේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර නොදීම, විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉලක්ක කොට යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම මෙම චෝදනා පහ බව ද ඒ මහතා පැවසීය.

ඉහත චෝදනා පහම තමා ප්‍රතික්ෂේප කරන බවත් මෙරට තිබෙන ස්වාධීන කොමිෂන් සභා බල රහිත කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කරන බවත් ඒ මහතා කීය.

අභූත සාමාජිකයන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට පත්කර විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් විදුලිබල මණ්ඩලයේ ආදායම් වැඩි නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම චෝදනා පිළිබඳ නැවත වරක් සිතා බැලීම සඳහා පිටු විසිපහකින් සමන්විත පිළිතුරු අඩංගු ලිපි ගොනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් දෙසීය විසිපහටම හෙට අනිද්දා යොමු කරන බවද ඒ මහතා කීය.

තමාට එල්ලකර තිබෙන චෝදනා පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 113 ක බහුතර බලයකින් සම්මත කිරීමෙන් මිස තමාව ඉවත් කළ නොහැකි බවද සභාපතිවරයා පැවසීය. ඉකුත් කාලයේ මේ රටේ සිදුවීම් දෙස බලද්දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 ක බහුතරයෙන් තමා සභාපති තනතුරෙන් ඉවත් කළත් ජනතා අධිකරණයට සියල්ල හෙළි කරන බවද ඒ මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment