විදුලි පනත සම්මතයි: පක්‍ෂව ඡන්ද 120ක් විරුද්ධව ඡන්ද 36ක්  

238

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ ඊයේ (09දා) වැඩි ඡන්ද 84කින් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36ක් ලැබිණි.

මෙම පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම් 3ක් සිදුකිරීමට කථානායකවරයාට සිදුවිය.

පනත පිළිබඳ කාරක සභා අවස්ථාවේදී ඇමැති කංචන විජේසේකර මහතා විසින් මෙගාවොට් සියයට වැඩි ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන බවට සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර” ඊට විපක්‍ෂය විරුද්ධත්වය පළ කළේය. එනිසා ඇමැතිවරයා විසින් සංශෝධන ඉවත් කරගනු ලැබීය.

අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා හතරවන වගන්තිය සඳහා සංශෝධන ලෙස මෙගාවොට් 10ට වැඩි ව්‍යාපාති සඳහා ටෙන්ඩර් කැඳවිය යුතු බවට සංශෝධනයක් ඉදිරිපත් කළේය. ඇමැති කංචන විජේසේකර මහතා විපක්‍ෂයේ සංශෝධන ප්‍රතික්‍ෂේප කළේය. ඒ අනුව විපක්‍ෂය ඊට ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

එහිදී කළ ඡන්ද විමසීමේදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ යෝජනාවට පක්‍ෂව ඡන්ද 51ක් ද” විපක්‍ෂව ඡන්ද 115ක් ද ප්‍රකාශ කෙරිනි. ඉන් අනතුරුව හතරවන වගන්තිය ඇති සැටියෙන් සම්මත කිරීමට ඡන්ද විමසීමක් අවශ්‍ය බවට විපක්‍ෂය කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව කළ ඡන්ද විමසීමේදී එම වගන්තියට පක්‍ෂව ඡන්ද 116ක් ද විරුද්ධව ඡන්ද 46ක් ද ප්‍රකාශ විය.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළේය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment