විදුලි බල අර්බුදය ජයගන්න එන අදානිගේ සුළං බලාගාර

376

තම සමීපතම අසල්වැසි මිතුරු රාජ්‍යය වන ඉන්දියාව සමඟ ඇති සබඳතා වෙන කවරදාකවත් නොවූ විරූ ආකාරයට තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දිය හැකි උපරිම සහය ලබා දී ඇති රට බවට ඉන්දියාව මේ වන විට පත්ව ඇති නිසයි.

1947 දී ඉන්දියාව බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගත් අතර ඊට වසරකට පසුව ශ්‍රී ලංකාවට නිදහස හිමිවිය. එම වකවානුවේ ජවහර්ලාල් ලාල් නේරු සහ ඩී. එස්. සේනානායක පිළිවෙළින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරුන් ලෙසට කටයුතු කළේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම නිදහසේ 75 වැනි සංවත්සරය එකම කාල රාමුවක් තුළ සමරන බැවින් එම සබඳතාවේ විවිධ පැතිකඩ දෙස බැලීම වඩා යෝග්‍ය වේ.

පසුගිය දිනක ඉන්දියා-ශ්‍රී ලංකා සමාජය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අතීතයේ සිට දෙරට අතර පැවති විවිධ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සුවිශේෂී ඓතිහාසික අවස්ථා නැවත ආවර්ජනය කළේය. රටවල් දෙක අතර වෙළෙඳ සබඳතා නංවාලීම සඳහා ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම නැවත පණ ගැන්වීමට සහ වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ප්‍රකාශ කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවයේ ශක්තිය රැඳී ඇත්තේ රටවල් දෙකෙහි ජනතාව අතර ඇති අන්‍යොන්‍ය බැඳීම මත බවයි. ඉතිහාසය පුරා දෙරට අතර ඇති සමීප සම්බන්ධතා, භූගෝලීය සමීපත්වය, දෙරටම හිමිකරගෙන ඇති පොදු උරුමයන් දෙරටේ සබඳතා බැඳ තබන පොදු සාධක බව මහකොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියේය.

විපතේදී අවැසි මිතුරෙකු ලෙස

ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 51කට අධික විදේශ ණය සඳහා ණය පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කළේය. මේ වසර මුලදී ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ගොදුරු වූ විට, ඉන්දියාව ආහාර, ඖෂධ සහ ඉන්ධන හදිසි මිලදී ගැනීම් සඳහා ණය මුදල් හුවමාරු කිරීම සහ ණය ආපසු ගෙවීම කල් දැමීමේ පහසුකම් සහිතව ඩොලර් බිලියන 4 කට ආසන්න වටිනා හදිසි ආධාර ලබා දීමට කටයුතු කර ඇත.

2022 ජනවාරි මාසයේදී මූල්‍ය අර්බුදය දිග හැරෙන්නට පටන් ගැනීමත් සමඟ ක්ෂය වූ විදේශ සංචිත ගොඩනඟා ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක ණය මුදලක් ප්‍රදානය කරන ලදී. පසුව අඛණ්ඩ ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා දුන්නේය. අර්බුදය උත්සන්න වීමත් සමග මෙම ණය පහසුකම පසුව ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා පුළුල් කරන ලදී.

ඉන්දියාවෙන් නව බස් රථ 500 ක්

ඩොලර් හිඟය නිසා ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට නොහැකි වී ඇති අතර ඒ මගින් ඇති විය හැකි මගී පොදු ප්‍රවාහනයට වන බලපෑම අවම කිරීමට ඉන්දියාව මැදිහත් වී ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදුන් බස් රථවලින් තවත් බස්රථ 40ක් ඩිපෝ වෙත භාරදීම පසුගිය පෙබරවාරි 21 දා සිදු කෙරිණි.

ඒ අනුව මෙරටට ලැබුණු බස් රථ 165ක් අදියර 3ක් යටතේ මේ වන විට මෙරට පොදු ප්‍රවාහනය උදෙසා එක්කර ඇති අතර, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නව බස් රථ 500 ම ධාවනයට එක්කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ ආයෝජන

මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවසර ලබා දී ඇත. මෙම ව්‍යාපෘති සඳහා අදානි සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 442 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවක් උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය.

ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරය

පසුගිය ජනවාරි මස 19 දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරම අවස්ථාවේ ශ්‍රී ලංකාවට තම සහයෝගීතාව පළකිරීම මෙම සංචාරයේ මූලිකම අරමුණ බව ජයශංකර් මහතා පවසා සිටියේය.

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මය මත පිහිටා ඉන්දියාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර වශයෙන් ඉන්දියාව පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ ණය මූල්‍ය පහසුකම් සපයා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

‘ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට ඇති මග පැහැදිලි කිරීම සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතික ලබා දුන්නා. මේ මගින් අපි අපේක්ෂා කරන්නෙ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම පමණක් නොව සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමානව කටයුතු කිරීම සහතික කිරීමයි.

ව්‍යාපාරික ප්‍රජාව සමඟ බෙදා ගන්න මට පණිවිඩයක් තියෙනවා. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වැනි මූලික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආයෝජන සඳහා ඉන්දියාව දිරිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ව්‍යාපාරික කටයුතුවලට හිතකර පරිසරයක් ඇති කරනු ඇතැයි අපි ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වෙනවා. දැනට රටේ පවතින බරපතළ තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් වටහා ගන්නා බව මට විශ්වාසයි’ ජයශංකර් මහතා ශ්‍රී ලංකාව තුළදී නිකුත් කළ නිවේදනයෙන් පවසා සිටියේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහය

අර්බුදකාරී තත්ත්වයක පසුවන තම අසල්වැසි රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජනවාරි මස 23 දා නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ කරන ලදී.

G 20 සංවිධානයේ සභාපති ධුරය ඉන්දියාවට හිමි වීමත් සමග ඒ හරහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ පිහිටි රටවල්වලට ප්‍රතිලාභ හිමිකර ගැනීමට නියමිතය. ඉන්දියාවට G 20 වැනි ප්‍රබල සංවිධානයක සභාපතිත්වය හිමි වීම දකුණු ආසියානු කලාපයට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට එහි ආර්ථික අර්බුදයෙන් මිදීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇති බවට සැකයක් නැත. ඒ අනුව ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වන සංවත්සරය සමරන අර්බුදකාරී අවස්ථාවේදී සුබවාදී බලාපොරොත්තු දල්වාගත හැකි සාධකයක් බවට ඉන්දියාව පත් වී ඇත.

ආචාර්ය – ප්‍රදීප් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment