විදුලි බිලට එරෙහිව රටම පාරට

176

මාස පහක් ඇතුළත දෙවන වරටත් විදුලි ගාස්තු සියයට 65 කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී පැය විසිහතරක් ඇතුළත විදුලි පාරිභෝගිකයන් සියලු දෙනා පාරට බස්සා මේ තීරණය ආපස්සට කරකවන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කීය.

විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ හැත්තෑහතරක් මෙරට සිටින අතර ජනවාරි මාසයේදී සියයට 65 කින් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් පාරිභෝගිකයන් සියලු දෙනාට එය දරාගත නොහැකි වන බවද ජයලාල් මහතා පැවසීය.

වත්මන් පාලකයන් මේ උත්සාහ ගනු ලබන්නේ මාස හයෙන් හයට විදුලි ගාස්තු ඉහළ දැමීමට යැයි ද ඒ මහතා කීය. ජනවාරි මාසයේදී විදුලි බිල ඉහළ දැමීමට ඉඩ ලබාදුන්නොත් මැයි මාසයේදී යළිත් එය සිදුවන බවද ජයලාල් මහතා කීවේය.

පාලකයින් මේ අර අඳින්නේ වෙන කිසිවකට නොව හදිසි මිලදී ගැනීම් යටතේ පුද්ගලික ඩීසල් බලාගාර, මුහුදේ පාවෙන බලාගාර (බාච්) ආදිය මෙරටට ගෙනැවිත් ජාවාරම කරගෙන යෑමට යැයිද ඔහු සඳහන් කළේය. විදුලි පාරිභෝගිකයන්ගේ බොටුව හිරකරන තුරු බලා නොසිට මෙය පරාජය කිරීමට එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment