විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සමෙන් අත්සන් ලක්ෂ එකහමාරක් කොමිසමට භාර දෙයි

54

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට එරෙහි හැටනව ලක්ෂයේ මහජන පෙත්සමේ පළමු අත්සන් එක්ලක්ෂ පනස් දහස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වෙත භාර දීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (9දා) කටයුතු කළේය.

ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද අන්‍ය ආගමික පූජකවරු ද මේ අවස්ථාවට එක් වූහ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සිට අත්සන් ලිපිගොනු රැගත් පිරිස භූමිතෙල් කරත්තයක් ද පෙරටු කොටගෙන ඉදිරියට ගමන් කිරීමට හදද්දී ම පොලිසියෙන් බාධා එල්ල වුණි. පොලිස් නිලධාරීන් හා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා අතර උණුසුම් වචන හුවමාරු වීමක් ද දක්නට ලැබුණි. අත්සන් ෆයිල් රැගෙන යෑමට ගෙන ආ භූමිතෙල් කරත්තය දුම්රියපළ අසලදී මග හරවා යැවීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ. මෙයට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්වරයා විරුද්ධ වන ආකාරය දක්නට ලැබුණි. එහිදී තමන් සමග වචන හුවමාරුවේ යෙදුණු ඉහළ පොලිස් නිලධාරියකු තමන්ට බරපතළ තර්ජනයක් කළ බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයාට ඉදිරියේදී ලිඛිතව පැමිණිලි කරන බවත් සංජීව ධම්මික මහතා මාධ්‍යයට කීවේය. අතරමගදී තවත් අවස්ථා දෙකකදී ම පොලිසිය පා ගමනට බාධා කළ බව ද ඔහු කීවේය.

පසුව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ පිරිස් ලේක්හවුස් වටරවුමේ චෛත්‍යය දක්වා පා ගමනින් පැමිණ එතැන් සිට කොල්ලුපිටිය හන්දිය දක්වා බසයෙන් ගමන් කළහ. එතැන් සිට අත්සන් සහිත ලිපි ගොනු හිස මත තබාගෙන පෙරහැරක ස්වරූපයෙන් කොල්ලුපිටියේ මර්චන්ට් කුලුනේ හය වැනි මහලේ පිහිටි මහජන උපයෝගීතා කොමිසම දක්වා ඔවුහු ගමන් කළහ. එහිදී සංඝරත්නය හා අන්‍යාගමික නායකයෝ ද ඊට එක් වූහ. මහියංගනය රාජමහා විහාරයේ දී ලබාගත් අත්සන් භාරදීම ඕමල්පේ සෝභිත හිමියන් අතින් සිදු කෙරිණි. අනිත් අත්සන් ලිපිගොනු සංජීව ධම්මික මහතා ඇතුළු පිරිස විසින් භාර දෙන ලදී. අත්සන් ලිපිගොනු භාරගත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එහිදී සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය නීති විරෝධී බවය. විදුලි බිල වැඩි කිරීමට කැබිනට් තීන්දුවක් ඉදිරියේ දී ගතහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට තමන් සූදානම් බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

හැට නම ලක්ෂයේ පෙත්සමට අත්සන් ගැනීමේ ඉදිරි අදියරයන් ඊයේ (9දා) දිනයේ ද ක්‍රියාත්මක වුණි. අත්සන් ගැනීම ඊයේ (9දා) සිදු වූයේ නව වැනි දිනටය. ඊයේ රජයේ මුද්‍රණාලය ඉදිරිපිට දී අත්සන් ගැනීම් සිදු කෙරිණි. අද (10 දා) දිනයේ දී රාගම දුම්රියපළ ඉදිරිපිට දී පෙත්සමට අත්සන් ගැනීම් සිදුකිරීමට නියමිතය.

අනුරාධ හිරිපිටියගේ, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment