විදුලි බිලේ රෝහල් ගිලේ

141

කාසල් එකේ හිඟ විදුලි බිල ලක්‍ෂ 180 ක්… රටෙන්ම කෝටි 4000 ක් අය වෙන්න නියමිතයි

රජයේ ප්‍රධාන පෙළේ රෝහල්වල එකතුවී තිබෙන විදුලි බිල්පත් වහාම ගෙවා දමන ලෙසට දිගින් දිගටම විදුලිබල මණ්ඩලය දැනුම්දීම නිසා රෝහල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපනශාලාව ඇතුළු ඒකක කිහිපයක බ්‍රහස්පතින්දා (27දා) විදුලි විසන්ධි කළ අතර පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වී බිල් ගෙවා කඩිනමින් යළි විදුලිය ලබාගෙන තිබිණි.

මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ විදුලි හා ජල විදුලි බිල්පත් නොගෙවීම නිසා රතු බිල්පත් නිකුත් කර තිබු අතර එම හිඟ බිල්පත්වලින් කොටසක් ගෙවා දැමු පසු විදුලි විසන්ධිය නතර කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

කාසල් වීදිය කාන්තා රෝහලේ හිඟ විදුලි බිල රුපියල් ලක්‍ෂ 180 කි. ජල බිල්පත රුපියල් ලක්‍ෂ හැටකි. කාසල් රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා දිනකට 250 කට වැඩි මව්වරුන් පිරිසක් පැමිණෙන අතර නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස 500 කට වැඩි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක්ම විදුලි හා ජල බිල්පත් නොගෙවා පැහැර හැර තිබෙන නිසා එම රෝහල්ද දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. රජයේ රෝහල්වල ජල හා විදුලි බිල්පත් ගෙවීමේදී අදාළ බිල් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රතිපූර්ණ කළ යුතුව ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂවරු පැවසීය. රට පුරා අනෙකුත් රෝහල්ද මෙම ප්‍රශ්නයට මුහුණ දී සිටිති.

අපට අතින් මුදල් ගෙවන්න විදිහක් නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත් මෙම බිල් ගෙවීම සම්බන්ධයෙන් තීරණය කළ යුතු යැයි රෝහල් අධ්‍යක්‍ෂවරු සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් දිවයින කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මණ්ඩලයට රටෙන්ම අයවිය යුතුව තිබෙන රුපියල් කෝටි 4000 (බිලියන 40) අයකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

එහිදී රජයේ රෝහල් හෝ වෙනත් විශේෂ ස්ථානවලට විශේෂත්වයක් ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල පනතේ කිසිදු සඳහනක් නොමැති බවද සභාපතිවරයා පැවසීය.

විදුලිබල මණ්ඩලය මගින් විදුලි සැපයුම් ලබාගෙන සිටින රාජය හා පුද්ගලික ස්ථානවලට බිල්පත් යොමු කරන බවත් ඒ ඒ ආයතන මගින් එම බිල්පත් ගෙවිය යුතුව ඇති බවත් ඒ මහතා කීය.

විදුලිය නියාමනය කරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමවතක් විශේෂත්වයක් දැක්විය යුතු තැන් සඳහන් කර නැතැයි ද ලංවිම සභාපතිවරයා තවදුරටත් පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment