විදුලි බිල අධික සිද්ධස්ථානවලට නිෂ්පාදන මිලට සූර්ය පැනල දෙනවා – ජනපතිගෙන් මහනාහිමිවරුන්ට ලිපියක්

92

ඉතාමත් අධික විදුලි බිලක් ගෙවීමට සිදුවන ආගමික සිද්ධස්ථාන වෙත නිෂ්පාදන මිලට යටත්ව සූර්ය පැනල ලබාදීමට හෝ සූර්ය පැනල ආනයනය කරන්නේ නම් ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් සැකසීමට මහනාහිමිවරුන්ගේ සහ ආගමික නායකයන්ගේ අනුශාසනා පෙරදැරිව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමිවරු වෙත විශේෂ ලිපියක් යොමුකරමින් අවධාරණය කර තිබේ.

 එමෙන් අධික විදුලි පරිභෝජනයක් සහිත වෙහෙර විහාරස්ථාන හා අනෙකුත් ආගමික ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල විදුලි ඉල්ලීම් කළමනාකරණයට සහ විදුලි සංරක්‍ෂණයට කැපවී සිටින ගිහි පිරිස් අතරින් බලශක්ති කළමනාකරුවන් පත්කර ඔවුනට පුහුණුවක් ලබාදීමටද විදුලි වැය පිළිබඳ මාසිකව සමීක්‍ෂණයකට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

 විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකාබද්ධව මේ සඳහා පියවර ගන්නා බවද ජනාධිපතිවරයා විසින් එම ලිපියේ සඳහන් කර තිබේ.

 කිසිදු ආගමික ස්ථානයක දෛනික මාසික හෝ වාර්ෂික ආගමික කාර්යයන් සඳහා කිසිදු බලපෑමක් නොවන ලෙස ඒවා අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසන බවද ජනාධිපතිවරයා එහි දක්වා තිබේ. එම ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

 පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය ද පැනනැගී ඇති බවත්, ඒ සියලු තත්ත්වයන් රටේ මහජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමිකව විසඳීම තමා ප්‍රමුඛ රජයේ වගකීම ලෙස දකින බවත් ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වාදී තිබේ.

 2022 වසර වනවිට රටේ බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950 ක් රටේ ප්‍රධාන විදුලි බල ජාලය හා සම්බන්ධය. 2021 වර්ෂයේදී ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91 ක් (9l Gwh) ලබාදී ඇත. පැවැති විදුලි අය ක්‍රමය යටතේ රුපියල් 7.17 ක් සාමාන්‍ය ඒකකයක් සඳහා විදුලි බලමණ්ඩලය අයකරගෙන ඇති අතර, තවත් රුපියල් 11.46 ක් බැගින් සෑම ආගමික විදුලි පරිභෝජන ඒකයක් වෙනුවෙන්ම විදුලි බල මණ්ඩලය විසින් වැයකරනු ලැබ ඇත.

 අද වනවිටත් බෞද්ධ සිද්ධස්ථාන සහ අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 15,527 ක් විදුලි ඒකක 30 ට අඩුවෙන් භාවිතා කරයි. තවත් 9,441 ක් විදුලි ඒකක 31-90 අතර ප්‍රමාණයකුත්, ස්ථාන 3,274 ක් විදුලි ඒකක 91-120 විදුලි පරිභෝජනයක් සහ ආගමික ස්ථාන 4,972 ක් විදුලි ඒකක 121-180 අතර ප්‍රමාණයක් පරිභෝජනය කරයි.

 බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 33,214 ක් පවතින නව විදුලි අය ක්‍රමය යටතේ වුවද මාසික විදුලි බිල සඳහා දරන වැඩිම මුදල වන්නේ රුපියල් 4,000 කට අඩු මුදලකි. ඊට වැඩි මුදල් දැරීමට සිදුවන්නේ ඒකක 180 ට වඩා පරිභෝජනය කරන ස්ථාන 9,800 කට ආසන්න ප්‍රමාණයකට පමණි.

 ඒ අනුව ඒකක 180 ට වඩා අඩුවෙන් විදුලි පරිභෝජනය කරන හා ඒකක 180 ට වඩා වැඩියෙන් විදුලි පරිභෝජනය කරන විහාරස්ථාන හෝ අනෙකුත් ආගමික ස්ථාන ලෙස වර්ග දෙකක් හඳුනාගත හැකිය. නව විදුලි බිල සංශෝධනයත් සමඟ ඒකක 180 ට වැඩි අධි විදුලි පරිභෝජනයක් සහිත ස්ථාන වෙත බලපෑමක් එල්ලවන බව සැබෑවකි.

advertistmentadvertistment
advertistmentadvertistment