විදුලි බිල උස්සන්න ඕනමයි: නැතිනම් පැය 7 – 8ක් කළුවරේ ඉන්න වෙයි

141

නීතිපති උපදෙස් ලැබුණා – ඇමැති කංචන මැති සබයේදීත් කියයි

විදුලි බිල යළි සංශෝධනය නොකරන්නේ නම් රටට අඳුරු යුගයකට යෑමට සිදු වන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එහිදී මෙහතෙම මෙසේද සඳහන් කළේය.

පසුගිය දින කිහිපයේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම විදුලි බිල නැවත වැඩි කරන්නට යෑම සම්බන්ධයෙන් අදහස්, විවේචන පළකර සිටියා. ඒ වගේම විදුලි බිල සංශෝධනය ගැන මහජන නියෝජිතයන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාත් අදහස් දක්වා තිබුණා. නැවත වතාවක් විදුලි බිල වැඩි කරන්න යන්නේ ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය කාලයේ ලැබූ පාඩවු අයකර ගැනීමටයි කියා තිබුණා. පසුගිය කාලයේ මණ්ඩලය ලැබූ පාඩුව අයකර ගැනීමේ අරමුණිනින් කිසිම යෝජනාවක් අප ඉදිරිපත් කරලා නෑ. විශේෂයෙන්ම අප ඉදිරිපත් තළ කැබිනට් පත්‍රිකාවේ පසුබිම් වාර්තා තුළ දක්වා තිබෙනවා මණ්ඩලය පසුගිය කාලයේ කොපමණ පාඩුවක් ලැබුවාද, ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මැදිහත් වී කොපමණ මුදලක් ලබා දුන්නාද කියා. අප ඉදිරිපත් කර තිබුණේ මෙරට විදුලි ජනන වියදමට සරිලන ආකාරයට ගාස්තු ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි කියලයි. ඒ වාගේම සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවල දී ස්වයංක්‍රීයව වියදමට ගැළපෙන ආකාරයට විදුලි බිල සංශෝධනයක් කළ යුතුයි කියලායි.

2023 වසරේ දී විදුලි ජනනය සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද කියන වාර්තාව පසුගිය සති කිහිපය තුළ විදුලි බල මණ්ඩලය විසින් අප වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. මේ රටේ පසුගිය කාලයේ අර්බුද නිර්මාණය වුණෙත් පැය 24 පුරා අඛන්ඩව විදුලිය ලබා නොදීම නිසයි. අදත් පැය 01යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. එහෙම කරන්න වෙලා තිබෙන්නේ අපේ ජල විදුලි බලාගාරවල තිබෙන ධාරිතාවත්, ගල්අඟුරු ධාරිතාවත් උපරිම ලෙස භාවිත කළත් ඉතිරි අවශ්‍යතාව පිරිමසා ගැනීමට දැවිතෙල් භාවිත කිරීමට සිදුව තිබෙන නිසායි.

ඒ නිසා අපි පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නා අපට ලබන වසර සඳහා විදුලිය අවශ්‍යතාව සපුරා ගැනීමට සහ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ක්‍රමවේදය කුමක්ද කියලා. ඒ අනුව ඔවුන් උපකල්පනය කර තිබෙනවා සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 56යි ශත 90ක් වැය වේවි කියලා. ඒ වගේම පැය 24ම අඛණ්ඩව විදුලි බලය දෙනවා නම් ගිගාවොට් පැය 17155ක් උත්පාදනය කළ යුතුයි කියා ඔවුන් සඳහන් කරනවා. ඒ අනුව තමයි ඔවුන් කියන්නේ විදුලි ඒකකයක් නිපදවන්න රුපියල් 56.90ක් වැය වෙනවා කියලා.

ඒ වගේම මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය කාලයේ අමාත්‍යාංශය විසින් ඉල්ලා සිටි ගාස්තු සංශෝධනය නොවෙයි ලබා දුන්නේ. පසුගිය වසරේ විදුලිය උත්පාදනය සඳහා රුපියල් මිලියන 800ක් වැය වෙන කොට එයින් රුපියල් මිලියන 500ක් ආවරණය වන ආකාරයේ ගාස්තු සංශෝධනයක් පමණයි ලබා දුන්නේ. විදුලි ගාස්තු සංශෝධනය කළෙත් වසර 09කට පසුවයි.

කොහොම වුණත් ලබන වසරේ විදුලි ඒකකයක් නිපදවන්න 56.90ක් වැය වෙන කොට මේ වසරේ එම මුදල ගණන් බලා තිබුණේ රුපියල් 29.14ක් ලෙසයි. රුපියල් 27ක පරතරයක් තිබෙනවා. ඒ කියන්නේ අපට අමතර රුපියල් බිලියන 423.5ත් වැය වෙනවා කියන එකයි.

එතකොට මොකක්ද කරන්නේ ? අපට විකල්ප දෙකයි තිබෙන්නේ. මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක මේ මොහොතේ ඒ අමතර මුදල අපට ආණ්ඩුවෙන් ලබා දෙන්න නොහැකි බව දන්නවා. එහෙනම් අපි කළ යුතුව තිබෙන්නේ ගාස්තු යාවත්කාලීන කිරීමක්. එහෙම නැත්නම් කවුරු මොනවා කිව්වත්, අපි ලැහැස්ති වෙන්න ඕනා ලබන වසරේ පැය 06ක, පැය 08ක විදුලි කප්පාදුවකට යන්න. එහෙම විදුලි කප්පාදුවකට යන්න ඕනෑනම් අපට ප්‍රශ්නයක් නෑ. මේ ගාස්තු සංශෝධනය නොකර ඉන්න පුළුවන්. මේක සංවේදී කාරණාවක් කියලා අපි දන්නවා. විදුලි ගාස්තු වැඩි කරනවාට මෙතැන ඉන්න බහුතර මන්ත්‍රී පිරිස කැමති නෑ. ජනතාවට වැඩි කිරීම දරාගන්න අමාරුයි. නමුත් විදුලි බල මණ්ඩලයට විදුලිය සපයන පුද්ගලික බලාගාරවලට රුපියල් බිලියන 70ක් ගෙවන්නත් තිබෙනවා. ඊට අමතරව පුනර්ජනනීය බල ශක්තිය සපයන පුද්ගලික සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 40ක් ලබා දෙන්නත් තිබෙනවා.

පසුගිය ගාස්තු සංශෝධනයත් එක්ක බිලියන 02 ගාණේ තමයි අපි ඒ අයට ගෙවා ගෙන ආවේ. අපි මේ නව ගාස්තු වැඩි කිරීම ඉල්ලන්නේ පසුගිය අලාභය පියවන්න නොවෙයි. අපි බලන්නේ ගාස්තු සංශෝධනයක් කරලා, අපේ වියදමට සරිලන ගාස්තුවක් ලැබුණොත් අපට පුළුවන් බැංකු ණයක් අරගෙන පරණ ගෙවීම් ටික කරගෙන යන්න. නැත්නම් අපට විදුලිය සපයන පෞද්ගලික බලාගාර සැපයුම නැවැත්වුවහොත්, මීට වඩා බරපතළ තත්ත්වයකට යනවා. අපි බලන්නේ ලබන වසරේ කොහොම හරි විදුලිය අඛණ්ඩවම සපයන්න.

දැන් අපට රුපියල් බිලියන 423ක් ලැබෙන්නේ නැත්නම් පැය 03ක විදුලිය කප්පාදුවකට යන්න වෙයි. මම දැක්කා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියලා තිබෙනවා නැවත ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධීයි කියලා. නමුත් විදුලි බල ඇමැතිවරයා ලෙස මමත්, මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිතුමාත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නීතිපතිගේ උපදෙස් ඇතිව. නීතිපතිත් අපට උපදෙස් දීලා තිබෙනවා මෙය කළ හැකියි කියලා.

මීට ඇතැම් වෘත්තීය සමිති විරුද්ධ බව කියනවා. ඒ අය මේක කරන්න දෙන්නේ නෑ කියනවා. හැබැයි අපි දැක්කා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න ඕනා කියලා ගෙන එන ලද පනතට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමාලා ඡන්දය දීලා 2002 දී අනුමත කළා. ඒ පනත පාදක කර ගෙන අපි යෝජනා කරන්නේ 2022ට ගැළපෙන පරිදි විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනා කියලයි. මොකද අපිට හැමදාම කියන්න බෑ ගාස්තු වැඩි කරන්න ඕනෑ කියලා. ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් තමයි අපට උත්පාදන වියදම අඩු කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අලාභ නොවන තත්ත්වයට පත් කර ගන්නත් පුළුවන්.

සමහර මාධ්‍යවල මම දැක්කා මණ්ඩලය කෑලි අටකට කඩනවා කියලා. ඒ මාධ්‍යවල සිංහල පත්තර කියලා තිබුණා කෑලි 08කට කඩනවා කියලා. මේවා තේරුම් කර ගන්නේ නැතුව කියන කතා. මේ තුළින් කිසිම හානියක් වෙන්නේ නෑ. පාරිභෝගික ජනතාවත් ආරක්ෂ වෙනවා. කාර්යක්ෂමතාව වැඩිවෙනවා. හැබැයි ඇතැම් අකාර්යක්ෂම සේවකයන්ට නම් ප්‍රශ්නයක් වෙයි. අපි මේ ආයතනයේ නාස්තිය අඩු කරලා තිබෙනවා. ඕටී, දීමනා, බටා, අඩු කරලා තිබෙනවා. පසුගිය වසරේ දීපු දීමනා මේ වසරේ දීලා නෑ. මේ විදුලි අර්බුදයට පිළියම් විදිහට ඉතා ඉක්මනින් අපිට අලුතින් බලාගාර හදන්නත් බෑ. ඒ නිසා අපි යෝජනා කරන්නේ ලබන ජනවාරි සිට මේ සංශෝධනය කළ යුතුයි කියලා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් සඳහා යම් දිරිදීමනාවක් ලබාදෙන්නත් අපි යෝජනා කරනවා.

ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා – මෙතුමා එකක් කියනවා. මහජන උපයෝග කොමිසමේ සභාපති තව එකක් කියනවා. මෙතුමා කියන විදිහට දැන් පැහැදිලියි කෑලි හත අටකට කැඩෙනවා කියලා. මේ අයනේ කිව්වේ විකුණනවා කියලා. මේ අය දැන් විකුණන්න හොය හොය යනවා. හිරිකිතයි.

අතුරලියේ රත්න හිමි – මේ ප්‍රකාශයෙන් රට නොමඟ යනවා. අපි කිව්වේ සෝලා පවර් උපයෝගි කර ගන්න කියලායි. මේ තෙල් තියන්නේ මාෆියාවක්. අපි දැන් නන්නත්තාර වෙලා හොම්බෙන් ගිය වෙලාවේ. මේවා හොයන්න කොමිසමක් පත් කරන්න ඕනා.

කංචන විජේසේකර මහතා – උන්වහන්සේ කියන්නේ මේ ඩීසල් බලාගාර දුවන්න වියදම වැඩියි කියලායි. මම ඒක පිළිගන්නවා. නමුත් මේ බලාගාර වෙනුවට අලුත් බලාගාර ඉදිවෙන්න ඕනේ. නමුත් මේවා ඉදිවෙනකම් ගාස්තු සංශෝධනය වෙන්න ඕනේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment