විදුලි බිල උස්සන යෝජනාව අද කැබිනෙට්ටුවට

96

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් අද (02 දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අයකරන රුපියල් 8 ක ගාස්තුව රුපියල් 30 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයකට අය කරන රුපියල් 10 ගාස්තුව රුපියල් 37 දක්වාත්, 61 සිට 90 දක්වා ඒකකයකට අයකරන රුපියල් 16 ගාස්තුව රුපියල් 42 දක්වාත් 91 සිට 120 දක්වා ඒකකයකට අයකරන රුපියල් 50 ගාස්තුව සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අයකරන රුපියල් 50 ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබේ.

ඒකක 181 ට වැඩි සෑම ඒකකයක් සඳහාම රුපියල් 75 ක් දැනට අයකරන අතර එම ගාස්තුව ද වෙනසක් කර නොමැත.

එසේම මුල් ඒකක 30 සඳහා දැනට අයකරන රුපියල් 120 ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 240 ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 360 ක ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩිකිරීමට යෝජනා වී ඇත.

එමෙන්ම ඒකක 90 සිට 120 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 960 ක් වූ ස්ථාවර ගාස්තුව රු. 1500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා දැනට අයකරන ස්ථාවර ගාස්තුව රුපියල් 960 සිට 1500 දක්වාත්, විදුලි ඒකක 181 ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 2000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

පසුගිය වසරේ (2022) අගෝස්තු මාසයේදී විදුලි ගාස්තු සියයට 75 කින් වැඩි කළ අතර මේ වසර සඳහා අඛණ්ඩව විදුලිය සැපයීමට නම් නැවත ජනාවාරි 01 සිට විදුලි සංශෝධනයට යා යුතු බව විෂයභාර ඇමැති කංචන විජේසේකර මහතා කියයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment