විදුලි බිල උස්සන යෝජනා අද කැබිනට්ටුවට

163

උපයෝගීතා කොමිසමේ සභාපති හරි !
යෝජනාව කැබිනට්ටුවට දැම්මත් මේ මොහොතේ විදුලි බිල නංවනු එපා !
ලංවිම වෘත්තීය සමිති කියයි

දෙවන වතාවටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාවලිය අද (19 දා) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත්තත් එම තීරණය මේ මොහොතේ කිසිසේත්ම ක්‍රියාත්මක කළ යුතු නැතැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ට පැවසීය.

අගෝස්තු මාසයේ විදුලි ගාස්තු සියයට 70 කින් වැඩි කළ පසු මාස පහක පමණ කාලයකදී යළි විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිතය පමණක් නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම කර්මාන්ත ශාලා ද විනාශවී යා හැකි බවත් මේ මොහොතේ නැවත විදුලි ගාස්තු ඉහළ නොදැමිය යුතු බවත් ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ මෙන්ම ලංවිම ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තිය සමිති සියල්ලේම ස්ථාවරය වී තිබේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ ක්‍රමවේද පහක් අඩංගු මෙකී යෝජනාවලිය මුලින්ම යොමු කළ යුතුව තිබුණේ මහජන උපයෝගීතා කොමිසමටය. (PVCSL) එම ක්‍රමවේදය අනුගමනය නොකර මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදී කැබිනට් මණ්ඩල අනුමැතියට යොමුකිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව නිශාන්ත මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කිහිප දෙනෙක්ම කියා සිටියහ.

ඉකුත් අගෝස්තු මාසයේදී විදුලි ගාස්තුව සියයට 70 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදීමෙන් පසු මෙම ගාස්තු අය කිරීම වසරක කාලයක් වත් පවත්වාගෙන යමින් එය අධ්‍යයනය කළ යුතුව තිබූ බව ද ඔව්හු සඳහන් කළහ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන බව කියමින් මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීම සඳහා ජනතා අප්‍රසාදය ඇතිවන ලෙස ගාස්තු ඉහළ දැමීමේ යම් අරමුණක් ඇතැයි ඔවුහු කියා සිටිති.

මේ වනවිට රට තුළ වාර්ෂික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 14,000 ක් පමණ වන බවත් ලබන වසරේදී එය ගිගාවොට් පැය 17500 දක්වා ඉහළ යනු ඇති බවත් උපකල්පනය කරමින් හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පාරිභෝගිකයා සූරාකෑමට සැරසෙන බව ද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටියහ.

ඔක්තෝබර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 200 ක (බිලියන 2) මෙහෙයුම් ලාභයක් ලබා තිබෙන බවත් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් හා තවත් පාර්ශ්ව කිහිපයක් එක්ව නෞකා බලාගාර මුහුදට ගෙන්වා හදිසි විදුලි මිලදී ගැනීමකට සැරසෙන බවත් ඔව්හු සඳහන් කළහ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉන්නා ස්ථාවරය නිවැරදි බව ද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු පැවසූහ.

මේ අතරතුර ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා කියා සිටින්නේ නව වැඩි කිරීමෙන් විදුලි ඒකක 300 ට වැඩියෙන් පාවිච්චි කරන අයට ගාස්තු වැඩි නොවන බවයි. ඒ ආකාරයට මසකට විදුලි ඒකක 300 ට වඩා භාවිත කරන ලක්‍ෂ හයක පාරිභෝගික පිරිසක් සිටිති. ඒ අනුව කළ යුත්තේ බලශක්තිය කළමනාකරණයකට ගොස් අධික විදුලි ඉල්ලුමක් සහිත රාත්‍රි කාලයේදී පාවිච්චි කරන විදුලි ඒකකයකට වැඩි ගාස්තු අය කරන ක්‍රමවේද :ඔසපැ දf ඩිැ* ආදියට යොමුවීමයි. එසේ නොකර දැඩි ආර්ථික අර්බුදයට ලක්ව සිටින ජනතාව තවත් පීඩාවට පත්වන පරිදි විදුලි ගාස්තු වැඩි නොකළ යුතු බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු පවසති.

මේ පිළිබඳව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් විමසූ විට කියාසිටියේ රුපියල් බිලියන 350 ක (කෝටි 35,000) හිඟය පියවා ගැනීම සඳහා අනිවාර්යයෙන් ගාස්තු වැඩි කළ යුතු බවයි. ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බව ද සභාපතිවරයා ‘දිවයින’ට සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment