විදුලි බිල නැංවීමේ තීරණය ගැන නියෝගය 17 දා

67

විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන නියෝගය ලබන 17 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (13 දා) තීරණය කළේය.

කැබිනට් මණ්ඩලයට සුදුසු යැයි හැඟෙන විට විදුලි බිල වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නියෝග කළ හැකි පරිදි අණ පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නියෝගය ද එදින නිකුත් කිරීමට අභියාචනාධිකරණය වැඩිදුරටත් තීරණය කළේය.

එකී තීරණ අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ, නීතිඥ මධුර ජයසංඛ හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ගොනුකර තිබූ පෙත්සම ඊයේ, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. විදුලි බිල සැලසුම් කර ඇති පරිදි වහාම ඉහළ දැමීමක් සිදු නොකළහොත් ඉදිරියේදීත් අඛණ්ඩව විදුලි සැපයීමක් සිදුකළ නොහැකි බව කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

විදුලිය සැපයීම සඳහා වැයවන වියදම් ඇතුළු ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් හෙතෙම ඒ බව පෙන්වා දුන්නේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ද එහිදී කරුණු දැක්වූ අතර සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ඊයේ (13 දා) දිනය ඇතුළත ලිඛිත විරෝධතා තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට සියලු පාර්ශ්වවලට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment