විදුලි බිල වැඩියි – මනු කියවන්නා ගුටිකයි – රෝහල්ගත කිරීමට නොදී පාරත් වහලා

551

සිද්ධියට විරෝධය පා විදුලිය අත්හිටුවයි

මහකුඹුක්කඩවල ගල්කුලිය විහාරස්ථානය ආසන්නයේ නිවෙස්වල විදුලි බිල නිකුත් කරමින් සිටි මනු කියවන්නකු නිකුත් කළ විදුලි බිල වැඩි වී ඇති බව පවසමින් ඔහුට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයකු මහකුඹුක්කඩවල පොලිසිය මගින් ඊයේ (15 දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හලාවත විදුලි ඉංජිනේරු කාර්යාලට අනුයුක්තව සේවය කරන සම්පත් නෙරංජන නමැති විදුලි බිල්පත් නිකුත් කරන්නෙකි. පෙරේදා (14දා) දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර එම අවස්ථාවේ මනු කියවන්නා පහර දීම සිදුවූ ප්‍රදේශයේ නිවෙස්වල විදුලි බිල නිකුත් කරමින් සිට තිබේ.

මනු කියවන්නාට පහර දී ඇත්තේ පසුගිය මාසවලට වඩා මෙවර විදුලි බිල වැඩි වී ඇති බව පවසමිනි. පහරදීමෙන් පසු සැකකරු මනුකියවන්නාට එම ස්ථානයෙන් ගමන් කිරීමට නොදී මාර්ගය අවහිර කර ඇත. මෙසේ පහර දී ඇත්තේ ගල්කුලිය ප්‍රදේශයෙ ලී මඩුවක් පවත්වාගෙන යන තැනැත්තකු බව පොලිසිය පවසයි. පහර දුන් සැකකරු මනු කියවන්නාට ගමන් කිරීමට නොදීම හේතුවෙන් හලාවත විදුලි අධිකාරි කාර්යාලයේ නිලධාරීන් මහකුඹුක්කඩවල පොලිසියට දන්වා පොලිසිය මැදිහත් වී මනු කියවන්නා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

සිද්ධියට විරෝධය දක්වා විදුලි බල මණ්ඩල නිලධාරීන් පහරදීම සිදුවූ මොහොරිය ඇතුළු ප්‍රදේශ කීපයක විදුලිය විසන්ධි කිරීමට ද කටයුතු කර තිබු බව පැවසේ. සිද්ධියට සම්බන්ධ 34 හැවිරිදි සැකකරු ආණමඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම පහර දීම සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මායා රන්ජන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් විමර්ශන කටයුතු සිදු කරති.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment