විදුලි බිල වැඩිවීම බලපාන්නේ සිද්ධස්ථාන 12,000 කට පමණයි – ඇමැති කංචන විජේසේකර

179

විදුලි බිල වැඩිවීම බලපාන්නේ ආගමික සිද්ධස්ථාන හතළිස් අටදහසෙන් 12,000 කට පමණක් බවත් ඉතිරි 36,000 සඳහාම බිල උපරිම වශයෙන් වැඩි වී ඇත්තේ රුපියල් 3990ක් පමණක් බවත් විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

මෙරට ආගමික සිද්ධස්ථාන සඳහා විදුලි බිල සහනයක් දෙනවිට ගෘහස්ථ, රජයේ ආයතන, කර්මාන්ත ඇතුළු කාණ්ඩ 06 කින් එම බර දරා තිබූ අතර දැන් ඒවායින් එම බර ඉවත් කොට ඇති බවත්, රට පුරා ඇති සිද්ධස්ථාන 48682 කින් 12586ක් සඳහා පමණක් විදුලි බිල වැඩි කිරීම බලපාන බවත් බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

ආගමික සිද්ධස්ථාන 12,000 ක් සඳහා බිල වැඩි කිරීම විශාල වශයෙන් බලපා ඇති බව තමන් පිළිගන්නා අතර එම සිද්ධස්ථාන සඳහා වාරික ක්‍රමයට සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බවද ඇමැතිවරයා කීය. ඒ සඳහා විශේෂ ව්‍යාපෘතියක් සකස් කිරීමට ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයාට භාරදී ඇති බවද සිද්ධස්ථාන සඳහා වෙනම අඩු මුදලකට විදුලිය උත්පාදනය නොකෙරෙන බැවින් සියලු දෙනාම විදුලිය අරපරෙස්සමින් භාවිත කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

විදුලි බිල වැඩි කිරීම නිසා සියල්ලන්ම අපහසුතාවට පත් වුවද විදුලි බල මණ්ඩලය දිගින් දිගටම ලබන අලාභය මගහරවා ගැනීම සඳහා බිල වැඩි කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටි අතර ඉල්ලූ ගණනට වඩා සියයට 60කින් පමණක් විදුලි බිල වැඩ කර ඇතැයිද ඇමැතිවරයා කීය.

මේ අතර අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල වහල මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා පැවසීය. එහිදී මන්ත්‍රීවරු මෙසේ අදහස් දැක්වූහ.

විමල් වීරවංශ මහතා- විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මහා සංඝරත්නයෙන් විශාල විරෝධයක් තිබෙනවා. විදුලි බිල වැඩි වන විට සූර්ය පැනල සවි කිරීම ආදී විකල්පවලට යනවා. ඒත් ඒ සඳහා දෙන දිරිගැන්වීම මොකක්ද?

කංචන විජේසේකර මහතා- ඉන්දියානු ණය ආධාර මත ක්‍රියාත්මක සූර්ය පැනල ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන්ට සහ සිද්ධස්ථානවලට සහනදායී ක්‍රමයක් මත එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

කුමාර වෙල්ගම මහතා- විදුලි බිලට සහනාධාර දෙන්න බෑ. ඒක මහ බැංකු අධිපතිතුමාත් කියනවා. ඒත් අඩු පොළියකට ගන්න පුළුවන් විදිහට ඒ සූර්ය පැනල සවි කිරීමට ක්‍රමයක් හදන්න. වී එයිට් එකේ යන හාමුදුරුවරුන් තමයි විදුලි බිල ගැන කතා කරන්නේ. පොඩි හාමුදුරුවෝ කතා කරන්නේ නෑ. ජනාධිපතිතුමා රට යන විට තුන් දෙනෙක් එක්ක ගෙන ගියා නම් ඇති කියලත් මම යෝජනා කරනවා

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment