විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ලක්ෂ 75 ක් වන විදුලි පාරිභෝගිකයෝ අද විරෝධතාවට එක්වන්න

165

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අද (06 වැනිදා) දින ක්‍රියාත්මක කරන ජාතික විරෝධතා දිනයට එක්වන ලෙස රටේ ලක්ෂ 75 කට අධික සියලු විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

නිවෙස් තුළ, කාර්යාල, මාර්ගවල, වැඩබිම්වල ඇති විදුලි ලාම්පු, වීදි ලාම්පු නිවා දමා නගරවලට හා නිවෙස් ඉදිරිපිටට ඒකරාශී වී අද රාත්‍රී 6 සිට 7 දක්වා විරෝධය දක්වන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා ඉල්ලා සිටියි.

පන්දමක්, හුළු අත්තක් දල්වා විරෝධය දක්වන ලෙස ද හෙතෙම සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. මෙහිදී තවදුරටත් කතා කළ සංජීව ධම්මික මහතා මෙසේ ද කීය.

විදුලි බිල සියයට 800 කින් වැඩි කරන්න මේ රජය උත්සාහ කරමින් ඉන්නවා. මිනිසුන්ට ඇති වෙන්න බර පටවලා තියෙන වෙලාවේ තවත් බරක් පටවන්නයි මේ හදන්නේ. මේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කළා. හැම දෙනාම මේකට සහාය දක්වන්න. ඒ වගේම ඒ විරෝධතාවය දක්වන සියලු අවස්ථාවන් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහරින්න කියලත් මා සියලු විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment