විදුලි බිල වැඩි කිරීම ආණ්ඩුවේ නත්තල් තෑග්ගද?

173

මේ දිනවල සමාජ දේශපාලන ක්‍ෂෙත්‍රවල දැඩි අවධානයටත් සංවාදයටත් ලක්වූ මාතෘකා කීපයක්ම තිබේ. ජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික දුෂ්කරතා මැද ඔවුන් මත පැටවීමට සූදානම් වන අසාධාරණ විදුලි ගාස්තු වැඩිකිරීම ඉන් ප්‍රධාන එකකි. දේශපාලන ක්‍ෂෙත්‍රයම උඩු යටිකුරු කරවන පුවතක් බවට පත්ව තිබෙන පළාත් පාලන හෙවත් පුංචි ඡන්දය සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවී තිබෙන අධිචෝදනා පත්‍රයක්ද වේ. අබිරහස් ඝාතන මෙන්ම පාතාල ක්‍රියාකාරකම් නිසා සමාජ ගතවී තිබෙන බිය හා අනාරක්‍ෂිතභාවය පිළිබඳවද විවිධ සංවාද ඇසෙයි. අතිශය බිහිසුණු සමාජ උවදුරක් බවට පත්ව තිබෙන මත්කුඩු අයිස් හෙරොයින් ආදිය සම්බන්ධයෙන් ලොමු දැහැ ගන්වන සුළු පුවත්වලද අඩුවක් නැත. ඒ සියල්ල දෙස විමසිලිමත්ව බලන විට නම් හැඟී යන්නේ සමාජ ආර්ථික අර්බුද පිළිබඳව ආණ්ඩුවට පුළුල් දැක්මක් නොමැති බවත් බොහෝ ඇමැතිවරුන් විද්යුත් මාධ්‍ය නාලිකාවල “වොයිස්කට්” දෙමින් ජනතා ප්‍රශ්නවලට උඩින් පනිමින් සිටින බවත්ය.

මෙරටේ පාලක බලය අත්පත් කරගත් හැම ආණ්ඩුවක්ම ජනතා අප්‍රසාදයට ලක්වෙන්නේ බොහෝ විට නිලධාරීන් විසින් ආණ්ඩුව මෙහෙයවන ඇමැතිවරුන්ට ලණුදීම නිසා බව කව්රුත් දනිති. නිලධාරීන්ට අමතරව බොහෝ උපදේශකයන් විසින් දෙනු ලබන්නේද දිරච්ච ලණු බව ආණ්ඩුවක් වටහා ගන්නේ හොස්ස බිම ඇනීමෙන්ද පසුවය. මේ ආණ්ඩුවේ ජනාධිපති වී සිටි ගෝඨාභයට අත්වූ දේශපාලන ඉරණම ඉතා ප්‍රසිද්ධ එකකි. දැන් දැන් සමහර ඇමැතිවරුද ඒ කාලයේ ගෝඨාභය ජනධිපතිවරයාට ගිල්ලවූ දිරච්ච ලණු ගැන කතා කරති. කෙත්වතු පාළු කරමින් සමස්ත ගොවි ජනතාවම විපතට හෙළුෑ ගෝඨාභයගේ රසායනික පොහොර තහනම කාටත් මතකය. එසේම සිය සහචර නඩවලට මඩි තර කරගන්නට හිතුමතයට ඉවත් කළ කුප්‍රකට සීනි බද්ද නිසා රටට සිදු වූ ආර්ථික විනාශයද සුළුපටු නොවේ. වෙළෙඳ විෂය භාරව සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පසුගිය දිනක කියා සිටියේ සීනි බද්ද සත විසි පහට අඩු කිරීමේ නියෝගය තමන් දැන ගන්නේද පන්සලක (නාරාහේන්පිට අභයාරාමය) සිටියදී බවය.

විදුලි බිල වැඩි කිරීම ආණ්ඩුවේ නත්තල් තෑග්ගද?

මොන අතින් බැලුවත් රටේ මූල්‍ය පාලනයේ වගකීම හිමිවී තිබෙන පාර්ලිමේන්තුව හෙවත් ව්‍යස්ථාදායකය නොතකන විධායකය රටකට දෙන ප්‍රතිඵල යහපත් නොවේ. කැබිනට් මණ්ඩලය පොදුවේ හැම තීන්දුවකටම වගකිව යුතුය යනුවෙන් ප්‍රතිපත්තියක් සම්ප්‍රදායක් තිබුණත් මෙරටේ විධායකය තමන්ට නැති බලයක්ද ආරෝපණය කර ගන්නා බවට ඕනෑ තරම් සාක්‍ෂිද සොයා ගත හැකිය. ජයවර්ධන විධායක ජනාධිපතිවරයාගෙන් ප්‍රභවය ලැබූ ඒ දේශපාලන පරිහානියේ හිණිපෙතට අද රට ගෙන ගොස් තිබේ. රාජපක්‍ෂවරුන්ට එහිදී එල්ලවන චෝදනා පත්‍රය ගැන අද බොහෝ විට සඳහන් වුවත් ඊට පෙරද එම විධායක ආඥාව පිළිබඳ විවේචන තිබේ.

කෙසේ හෝ අද ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහ ද දසක හතරක් ඉක්මවා ඒ දේශාපලන සංස්කෘතිය නඩත්තු කිරීමට දායක වූ අයෙකි. අද ඔහු යම් ප්‍රමාණයක දේශපාලන වෙනසක් ගැන කතා කරයි. එහෙත් ඔහුට ඒ වෙනසට වුවමනා දේශපාලන බලය නැත. එනිසා ජනාධිපති රනිල්ට පොහොට්ටුව සමග එකඟතාව රැක ගැනීමටද සිදු වී තිබේ. ගෝඨාභයගේ ධුර කාලයෙහි ඉතිරිය ගෙවීම සඳහා නීත්‍යානුකූලව පත්ව සිටින රනිල් ජනාධිපතිවරයා ලෙස මෙරටේ අලුත් වෙනසකට මුල පුරනු ඇතැයි සමහරු කල්පනා කළහ. එහෙත් එය සාධනීය ලෙස සිදු වන්නක් නොවේ. පොහොට්ටුව එයට ඉඩ දෙන්නේද නැත.

ගෝඨාභය පාලනය නිසා විපතට වැටුණු සමාජ ආර්ථික හා දේශපාලන ගමන ක්‍ෂණිකව නිවැරදි කළ නොහැකි බව සැබෑවකි. එහෙත් එදා පැනනැගුනු විවිධ අර්බුද හා ගැටලු තවමත් ඒ ආකාරයෙන්ම දැක ගත හැකිය. විශේෂයෙන් කෘෂිකර්ම ක්‍ෂෙත්‍රය මෙන්ම සෞඛ්‍ය හා රාජ්‍ය ආයතන පද්ධතියේ කඩා වැටීමට තවමත් විසඳුමක් ලැබී නැත. ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරෙන දූෂණ, වංචා, හොරකම් හා නිලධාරීන්ගේ අවිධිමත් ක්‍රියාකාරකම්ද අඩු වී නැත. සාමාන්‍යයෙන් ස්වශක්තියෙන් නැගී සිටි ගොවියාගේ වර්තමාන ඉරණම කෙතරම් ශෝචනීයද? පොහොර ටික පලිබෝධ නාශක, තම වීවලට මිලක් නොමැතිව ගොවීහු මැසිවිලි නගති. අදාළ ඇමැතිවරයාට ඒවා විසඳිය නොහැකි බවට දැඩි චෝදනාවක්ද ඇත. රටේ බරපතළ වන විනාශයක් සිදු වෙද්දී කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවීමද කැපී පෙනේ.

වන විනාශය පරිසර හානිය කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම පසුපස දේශපාලනය මෙන්ම දූෂිත නිලධාරීහුද සිටිය හැකි වෙති. මේ දූෂිත චෞරයන් විසින් කරන ලද සියලු විනාශකාරී ක්‍රියාවන්හි ආදීනව විසින් රටම ප්‍රපාතයට ඇදගෙන යනු ලැබ ඇත. ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී නොවන දේශපාලනඥයා මෙන්ම තමන්ගේ වැටුප, පහසුව එපමණක් බලන නිලධාරීන්ගෙන්ද රටක් ඉදිරියට නොයන බව පුන පුනා කිව යුතු නැත.

මේ වනවිට සියයට හැත්තෑවකින් විදුලි බිල ඉහළ දැමීමේ සූදානම ගැන විශාල සංවාදයක් මෙන්ම චෝදනාපත්‍රයක්ද එල්ලවී තිබේ. විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 45 ක පොල්ලක් තබා ඇති මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක්ද මාධ්‍යවල පළවිය. අහිංසක දුප්පතකුගේ ගෙදර විදුලිය කපා දැමීමට රුපියල් 300 ක හිඟ මුදලක් ප්‍රමාණවත්ය. එහෙව් විදුලිබල මණ්ඩලය මේසා විශාල මුදලක් හිඟ වනතුරු නිදා සිටීම පුදුමයකි.

තවත් මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ තෙල්, විදුලි, ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 52 ක් වසරකට කෝටි 86,000 ක් ගිල දමා ඇති බවකි. රාජ්‍ය ආයතන නඩත්තුව සමග ඒවායේ දූෂණ ක්‍රියාදාමයද පවත්වා ගෙන යෑම පිළිබඳ දැඩි විවේචන ද තිබේ. මේ විනාශයේ බර පොදු ජන හිස මත පැටවීම මොනතරම් ද්‍රෝහී ක්‍රියාවක්ද?

ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය මෙන්ම ඛනිජ තෙල් සංස්ථාව පිළිබඳ දැඩි විවේචන තිබෙන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. අද රටේම ආර්ථිකය කඩා වැටී තිබියදී මේවායේ ලක්‍ෂ ගණනින් වැටුප් ලබන්නෝද සිටිති. මෙසේ අධික වැටුප් සුපිරි වරප්‍රසාද හිමිකරගත් නිලධාරි පැලැන්තියක් මෙන්ම දේශපාලන නඩයක්ද සිටියත් මෙරටේ පුරවැසියාගේ තත්ත්වය කුමක්ද? රටේ පහළ සමාජ තලයට අයත් අන්ත අසරණ ජනතාව අද එදිනෙදා ජීවිතය ගෙන යෑමට නොහැකිව සිටිති. එහෙත් ඒ ජනතා ඇසට වැලි ගැසූ වර්ගයේ දේශපාලන බරිත සුඛිත මුදිත ජීවිත ගෙවති. අල්පෙනෙත්තේ සිට හැම දෙයකටම ඔවුන්ට වැය වන්නේ ජනතාවගේ මුදල්ය. සිය දරු පවුල් සමග සාද තෙපුල් බෙණෙමින් සිටින ඒ දේශපාලන ප්‍රභූවරුන් රට වෙනුවෙන් කළ පරිත්‍යාග කෙබඳුද?

මේ වන විට සමහර දේශපාලනඥයන්, ඉහළ නිලධාරීන් වරප්‍රසාදලත් චෞරයන් ආදීහු නත්තල් මිහිර විඳීමටද සූදානම්ව සිටිති. සමහරුන්ට රටින් පිටවීමට බාධා තිබේ. අන් අය මේ දුප්පතුන්ගේ ලෝකයෙන් ඈත්වී ගුවන් ගත වීමට පුල පුලා සිටිති. එහෙත් බතක් නොඉදෙන පැල්පත් කොපමණද? ලෙඩට බෙහෙත් ඉනට වස්ත්‍රයක් නැතුව පීඩා විඳින කොටස්ද සිටිති. එහෙත් කිසිවකුට නත්තල් තබා එදා වේල පිරිමසා ගැනීමට හෝ නොහැකි බව මේ දේශපාලනය නිසා ප්‍රභූ බවට පත් වූ අය දනිත් ද?

නත්තල යනු දුගියා බත් කන දවස යැයිද පව පල්ලිය යන දවස යැයිද අප්‍රමාණ මානව දයාවෙන් ලියා තැබූ සොඳුරු ගුණ පිරි මර්සලීන් ජයකොඩි පියතුමා ලියූ බව මේ සමාජ දේශපාලන මතුමහලේ සිටින අයගෙන් කී දෙනෙක් දනිත්ද? අඩුම තරමින් නත්තලටවත් සිත් පුරා සතුටු විය හැකි යමක් ඒ දිළිඳුන්ට දීමට ඔව්හු කල්පනා කරත්ද?

රට විනාශයට ඇදගෙන ගිය සියලු ජාවාරම්කාර නඩවල පව් කර ගැසීමට රටේ ජනතාවට සිදුව තිබේ. ඇත්තට උන් කාබී පෙම් කෙළිද්දී අපට විඳවීමට සිදුව තිබේ. මේ යෝජිත විදුලි බිල ඒ සහචර කල්ලිවල පව් පීඩිත හිස මතට පැටවීමකි. වෘත්තීය සංගම්, බහුජන සංවිධාන මෙන්ම මහජන උපයෝගිතා කොමිසම මේ විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට එරෙහිව නැගීසිටිති. පුදුමය නම් විදුලි බිලට පොලු තැබූ මහත්වරුන් එබඳු හිත්පිත් නැති යෝජනාවකට අත් එසවීමය. අපට දැනෙන ආකාරයට නම් ඒ කිසිවකින් පාලනයේ ගල්හිත් මෙලෙක් වන බවක් නොපෙනේ. මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක් වර්ගයේ නිලධාරීන්ගෙන් සහනයක් අපේක්‍ෂා කළ හැකිද? මැල්කම් රංජිත් කාදිනල්තුමා ආයාචනා කරන්නේ නත්තල් කලාප නවත්වා දුප්පතුන්ට උදව් කරන ලෙසය. රටේ ප්‍රශ්න උග්‍රවී තිබෙන මොහොතක නත්තල වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම සුබවාදී නොවන බවද කාදිනල් හිමියෝ පවසති. එබඳු වාතාවරණයක ආණ්ඩුව ඒ දුප්පතුන්ට ලබා දෙන නත්තල් තෑග්ග මෙසේ ඔවුන් මත තවත් බර පැටවීමක්ද?

රට ගිනිගත් අතරතුරේදී වුවත් ස්වකීය සුඛවිහරණ ජීවන රටාව අත්නොහරින අය අප අතර සිටිති. සඳලුතලේ සාද පවත්වන ඔව්හු වීදියේ සරණ දරුවන් නොදකිති. ඉස්තරම් මත්පැන්, රසමුසු බොජුන් ආදියෙන් සප්පායම් වන ඔවුන්ට බිත්තරයක් දරුවන්ට දීමට වත්කමක් නැති අම්මා කෙනෙක් පෙනෙන්නේ මහා වධකාරියක් තම පවුලේ සතුට විනාශ කරන කාලකන්නි ස්ත්‍රියක් ලෙස විය හැකිය. එහෙත් අද මහ පොළවේ යථාර්ථය එය නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, ආහාර සුරක්‍ෂිතතාව, සංස්කෘතික හා සදාචාරධර්ම සුරැකීම, මානවහිමිකම් හා නීතියේ ආධිපත්‍යය යන බොහෝ දේවල් පිළිබඳ නොයෙක් සංවාද වාද විවාද සිදු වුවත් ඒවා බොහෝ විට අලංකාර වචන, හරඹ, දේශපාලන කටගැසමක් සඳහා උචිත මාතෘකා ලෙස විනා සැබෑ අර්ථයෙන්ම ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. මේ දිනවල සංවාදයට ලක්ව තිබෙන පළාත් පාලන ඡන්දය හෙවත් පුංචි ඡන්දය ගැන ආණ්ඩුවට චෝදනා පත්‍රයක්ද තිබේ. පවතින දේශපාලන වාතාවරණය තුළ පුංචි ඡන්දයෙන් ලැබිය හැකි ප්‍රතිඵලය ගැන ආණ්ඩුවට චකිතයක් තිබිය හැකිය. එයින් ලැබෙන ප්‍රතිඵලය විපක්‍ෂයට වාසිදායක වුවහොත් මෙවේලේ මැතිවරණයකට යෑම ඉල්ලන් කෑමක් බව දේශපාලන සටකපටකම්වල කෙළ පැමිණි ආණ්ඩුවේ නායකයෝ දනිති. මෙම පුංචි මැතිවරණය ප්‍රතිඵලයෙන් ආණ්ඩුවේ තිබෙන හුළං ටිකත් බින්දුවට බැස්සවීමට හැකි බව විපක්‍ෂවල අදහසය.

කෙසේ වුවත් පුංචි ඡන්දය වෙනුවෙන් ආණ්ඩුව යෝජනා කරන සංශෝධන ඉතා අගනා බව කිව යුතුය. එහෙත් ඒවා තිබෙන ක්‍රමය පිරිපහදු කර ගැනීමට වඩා තමන්ට ආවරණයක් බවද ආණ්ඩුව දනී. කොහොම වුණත් මහජන මුදල් කාබාසිනියා කිරීම පිළිබඳ ආණ්ඩුවලට තිබෙන විවේචන අනුව වුවද මේ යෝජනා අවංක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් උදෙසාද යන සැකයද බොහෝ දෙනකු තුළ ස්වභාවිකව නැගෙන්නකි. ඇත්තටම මන්ත්‍රීන් සංඛ්‍යාව 8000 සිට 4000 කිරීම මොනතරම් අගේද? එනිසා ආණ්ඩුව ගහන දේශපාලන ගැටවලින් ජනතාව රැවටීමද අසීරු බව පමණක් සඳහන් කරමු. රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මේ පුංචි ඡන්දයේ බරද අවසාන වසයෙන් වැටෙන්නේ ජනතාවගේ හිස මත බවද නිසැකය.

අපි අවසන් වසයෙන් අද වන විට මේ සමාජයෙහි තිබෙන භීෂණත්වය මෙන්ම අනාරක්‍ෂිත බව ගැනද සැකෙවින් වුවද විමසා බැලිය යුතුය. මෙහි ආසන්නතම සිද්ධිය ලෙස නොබෝදා ඝාතනයට ලක්වූ දිනේෂ් ශාෆ්ටර් නැමති ව්‍යාපාරිකයාගේ පුවත දැක්විය හැකිය. කෝටි 143 ක පමණ ගනුදෙනුවක් ගැනද මෙහිදී කියැවෙයි. මෙබඳු කෝටිපතියන්ගේ මුදල් ගනු දෙනු වලින් ප්‍රකාශ වන බොහෝ කරුණු ද ඇත. මේ වර්ගයේ මහා පරිමාණ මූල්‍ය අපරාධ කීපයක් ගැනද වාර්තා වී තිබේ. ධනය හා බැඳුණු ඝාතන රැල්ල නිසා වැඩෙන සමාජ බිය ගැන ආණ්ඩුව මෙන්ම දෘෂ්ටි කෝණයකින් සලකා බැලිය යුතුය.

අද ආණ්ඩුව ආර්ථික අර්බුදයක ගිලී සිටියත්, එයින් ගොඩ ආ යුත්තේ විධිමත් සැලසුමකට හා ප්‍රතිපත්තිමය කරුණු මත පදනම්වය. අද තිබෙන හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතය රටම ගිලගත් විපතකි. මේ විපත සමග සංචාරක ව්‍යාපාරයට අලුත් ධනෝපායන මාර්ග ලෙස හඳුන්වා දෙන දේවල් ගැනද ප්‍රවේශම් විය යුතුය. මැල්කම් රංජිත් කාදිනල්තුමා චින්තන විප්ලවයක් පිළිබඳ යෝජනා කළේත් මේ ගමන සකසා ගැනීමටය. රාජ්‍ය ඇමැතිනියගේ ගංජා හා රාත්‍රි සමාජ ජීවිතය මෙම සංස්කෘතියට නොගැලපෙන බව කාදිනල් හිමියන් පවසන්නේද බොහෝ දුර දිග බැලීමෙනි. එහෙත් ඒ යෝජනාව ඉදිරිපත් කළ ඇමැතිනිය කාදිනල්තුමාටද පටු විවේචනයක් කිරීමෙන් පැහැදිලි වන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා යන්න අප වැළඳ ගත යුතු පිළිවෙත බවද කුමක් වුවත් ගංජා ඖෂධයක් ලෙස බුදුන් වහන්සේ විසින්ද භාවිත කරනු ලැබ ඇතැයි පැවසීමද දැඩි ආන්දෝලනාත්මක කරුණක් බව දැනටමත් විද්වත්හු හා බෞද්ධ දර්ශන විශාරදයෝ පවසති.

මේ පිළිබඳව ත්‍රිපිටකයේ හෝ බුදු සිරිතේ සඳහන් නොවන බවත් ගංජාවලින් විවර කිරීමට යන්නේ මහා විනාශයකට දොරටුවක් බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝද අවධාරණය කරති. කුමක් වුවත් මෙබඳු භෞතික කාරණා සඳහා බුදුදහම මෙන්ම බුදුන් වහන්සේ උපුටා දැක්වීමද බරපතළ මුග්ධ ක්‍රියාවක් බව පෙන්වා දිය යුතුය. කුමක් වුවත් දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට උතුම් බුද්ධ භාෂිතය මෙන්ම ඒ ගෞරවනීය බුද්ධ චරිතයද සදොස් ලෙස උපුටා දැක්වීම නොමනා අශිෂ්ඨ ක්‍රියාවක් බවද සිහිපත් කළ යුතුය. සම්මා ආජීව හා සම්මා සතිය යන මේ දේශපාලන වසයෙන් පරිභවයට ගිය සමාජයකට මග පෙන්වන බවද අපගේ අදහසය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment