විදුලි යකා වරම ගනී

202

සියයට හැට පහකින් විදුලි බිල ඉහළ දැමීමට අදාළ යෝජනාව ඇතුළත් පත්‍රිකාව හෙට (02 වැනිදා) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව කැබිනට් අනුමැතිය ලැබුණු පසු අදාළ විදුලි බිල ඉහළ දැමීමට අදාළ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සභාපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ලබාදී තිබෙන උපදෙස් මත ජනවාරි සිට විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්ය කර ඇතැයි විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා ලංවිම වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී පවසා ඇත.

2023 වසරේ දී අඛණ්ඩව විදුලිබලය ලබාදීමට රජය සැලසුම් කර තිබෙන බවත් රජය ගන්නා එම ප්‍රතිපත්තිමය තීරණය කොමිසමේ සභාපතිට නතර කළ නොහැකි බවත් මෙහිදී ඇමැතිවරයා කියා තිබේ.

2023 වසරේදී අඛණ්ඩව රටට විදුලිබලය ලබාදීමේදී මුහුදේ පාවෙන බලාගාර (බාච්) මෙරටට ගෙන ඒම සැලසුම වී තිබේදැයි මෙම සාකච්ඡාවෙන් පසුව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ විමසූ විට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ දැනට මෙරට ක්‍රියාත්මක ඩීසල් බලාගාර හා අනෙකුත් තාප බලාගාරවලට දිගටම ඉන්ධන සපයා රටේ විදුලි අවශ්‍යතාවය සපුරාලීම සැලසුම වී තිබෙන බවයි.

විදුලිබල මණ්ඩලය ඉකුත් කාලසීමාවේදී දිගින් දිගටම පාඩුවී තිබූ බවත් අවසානයේදී ඒ පාඩුව මහා
භාණ්ඩාගාරයට දැරීමට සිදුවී ඇති බවත් ඒ ආකාරයට තවදුරටත් කටයුතු නොකර පාඩුව පියවාගත හැකි පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දමා ජනතාවගෙන් එය පියවාගත යුතු බව ජාත්‍යන්තරය ලබාදී තිබෙන උපදෙස් අතර තිබෙන බවද හෙතෙම කීය.

විදුලි ගාස්තු වැඩි කරන්නේ නම් රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු රුපියල් බිලියන සියයක මුදල කපා හැරීමට හැකි වන බවද අදාළ සාකච්ඡාවේදී හෙළි වී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment