විදුලි  වර්ජනය අරඹති

803

ජාතික ප්‍රතිපත්තිය වෙනුවට ඉන්දියාවේ අදානි සමාගමට වාසිදායක ලෙස විදුලිබල පනත වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (08දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘දිවයින’ට පැවසීය. 04- පිටුවට

විදුලිබල පනතේ ඇතුළත් විදුලිය මිලදී ගැනීමේදී අවම මිල සහතික කිරීම අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව සංශෝධනය මගින් ඉවත් කර තිබෙන බවත් එම නිසා ඕනෑම මිලකට විදුලිය මිලදී ගැනීමට අපේ රටට සිදුවන බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

තම වෘත්තිය ක්‍රියාමාර්ගයට පෙර ඊයේ දහවල් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සමග ඉංජිනේරු සංගමයේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ බවත් එහිදී සාර්ථක පිළිතුරක් නොලැබුණු නිසා වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා පැවසීය.

“විදුලිබල පනතේ වැදගත්ම දෙයක් තමයි විවෘත වෙළෙඳ පොළේ මිල ගණන් කැඳවලා අවම මිලට විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීම. නමුත් අදානි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට යන්නේ පනත උල්ලංඝනය කිරීමෙන්’‘ බවද ඒ මහතා පැවසීය.

වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමත් සමඟ විදුලි ඉංජිනේරුවන් සිය සේවා ස්ථානවලින් ඉවත් වන බවත් ඉන්පසු සිදුවන විදුලි විසන්ධිවීම් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකිව මහජනතාව අපහසුතාවට පත් වුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් ඒ මහතා පැවසීය. මෙහිදී ඉංජිනේරුවන් වාර සේවා, විදුලි බලාගාර, බිඳවැටීම් නඩත්තු ඇතුළු සියලු සේවාවලින් ඉවත් වන බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සුළං සහ සූර්ය බලශක්තිය ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුව තිබිය යුතු බවත් ඉන්දියාවේ අදානි සමාගමට නීති විරෝධීව එම බලය පැවරීම වහාම නතර කළ යුතු බවත් කී ඒ මහතා, විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් මෙවැනි අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ වසර 26 කට පසුව බවත් කීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment