විදුලි සටන තීන්දුයි: යුගදනවි පැවරීමේ ගිවිසුම අහෝසි කරන්න – ලංවිම ඉංජිනේරුවො අකුරට වැඩ

253

යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් සහ එල්. එන්. ජී. ඒකාධිකාරිය ඇමෙරිකානු නිව් ෆෝට‍්‍රස් සමාගමට ලබාදීමට අත්සන් කර තිබෙන ගිවිසුම අහෝසි කරනතෙක් ලංකා විදුලිබල මණ්්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (25දා) සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ විය.

බලධාරීන් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට ඇහුන්කන් නොදෙන්නේ නම් ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් කරා යොමුවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඊයේ බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ඊයේ දහවල් 12.00 සිට ආරම්භ කළ බවත් එහි බලපෑම දින දෙකතුනක් යනවිට බලධාරීන්ට දැනෙනු ඇති බවත් හෙතෙම කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා මෙසේද කීය.

විදුලි ඉංජිනේරු සංගමය මේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එළඹී වැඩ වර්ජනයක් දක්වා යෑමට තීරණය කර තිබෙන්නේ වසර 10 කට පසුවයි. මේ වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට එළඹීමට පෙර ජනාධිපති අගමැති ඇතුළු සියලූ පාර්ශව දැනුවත් කළා.

එල්. එන්. ජී. සැපයීමට ඉදිරිපත් වී තිබෙන්නේ ඇමෙරිකාවේ බංකොළොත් වෙමින් තිබෙන සමාගමක්. මෙවැනි සමාගමකට එල්. එන්. ජී. සැපයීමේ අවස්ථාව ලබාදී රට අඳුරට යෑමට සහ ජාතික ආරක්‍ෂාවට එල්ල වන බලපෑම දකින්නේ වෘත්තිකයන් හැටියට අපියි. මේ සමාගම නීත්‍යානුකූල ආකාරයට ටෙන්ඩරයට ඉදිරිපත් වී නැහැ. විදුලි පාලනාධිකාරිය සක්‍යතා වාර්තා සකස්කර ඉදිරිපත් කළ ටෙන්ඩරයට ඉදිරිපත් වීමට මෙම සමාගමට නොහැකි නිසයි එසේ ඉදිරිපත් වී නැත්තේ.

එවැනි නුසුදුසු සමාගමකට අනුමැතිය ලබාදීම මෙරට විදුලිබල ඇතුළු නීති පද්ධතියටත් අභියෝග කිරීමක්. අඩුම ගානේ මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට පවා නිසියාකාරව ඉදිරිපත් කර නැහැ. කැලෑ නීතියට ගිහින් වතුර බොරකර මාළු අල්ලන න්‍යායට මේ ආණ්ඩුව වැඩ කරනවා.

ආණ්ඩුව විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩලා එහි ඉහළ නිලතලවලට දේශපාලන හිතවතුන් පත්කර ගිවිසුම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා. එල්. එන්. ජී. මිලදී ගැනීමට පෙර නළ එළීම ඇතුළු යටිතල පහසුකම් සකස් කරගත යුතුයි. ඒ සඳහා වසර එකහාමාරක පමණ කාලයක් ගත වනවා. ඉන්පසුවයි එල්. එන්. ජී. මිලදී ගැනීමට ටෙන්ඩර කැඳවීම් කළ යුත්තේ.

චමින්ද සිල්වා – ඡායාරූපය නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment