විදුහලක් බවට පත්වූ “ගොවි පාසල”

426

රුහුණු ගිරුවාපත්තුවේ අධ්‍යාපන විද්‍යස්ථාන අතර මිණි පහණක් බඳු ශ්‍රේෂ්ඨ මෙන්ම ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන රාජපක්ෂ මධ්‍ය විද්‍යාල මාතාව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වීරකැටිය තංගල්ල මහා මාර්ගයට යාබදව වීරකැටිය නගරයේ සිට තංගල්ල දෙසට කිලෝමීටර් එකක් පමණ දුරින් රමණීය භූමි භාගයක පිහිටා ඇත.

යටත්විජිතවාදී යුගයේ මිෂනාරී අධ්‍යාපනය වේගයෙන් පැතිර ගිය කාලයක මෙරට ජාතිමාමකයන් විසින් බිහි කළ බෞද්ධ විද්‍යාල අතරින් එකක් ලෙස වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය ද සැලකිය හැකිය. එකල ගම්වාසීන් අතර මෙම විදුහල ප‍්‍රකට වූයේ ”මිරිස්වත්තේ ඉස්කෝලේ” යන නමිනි. එයට හේතුව 1930 දශකයේ මෙම විදුහල ගොවි පාසලක් ලෙස ආරම්භ වීම ය.

කෙටිකලක් ගොවි පාසලක් සේ පවත්වා ගෙන ගොස් වසා දැමූ මෙම භූමියේ පාසලක් ආරම්භ වූයේ ඞී. එම්. රාජපක්ෂයන්ගේ පුරෝගාමීත්වයෙනි. ඒ 1940 ඔක්තොම්බර් 15 වැනිදාය. ගුරුභවතුන් දෙදෙනෙකුගේ හා සිසු දරුවන් 33 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ කර ඇත. ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය යටතේ අධ්‍යාපන කාරක සභාවේ සභාපතිව සිටි සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන් විසින් ඇති කරන ලද මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ 1943 දී මෙම පාසල ලංකාවේ ප‍්‍රථම මධ්‍ය විද්‍යාල පහෙන් එකක් බවට විය.

”නොනැවතී ඉදිරියට” යන ආදර්ශ පාඨයෙන් යුක්ත විද්‍යාලයේ නිල ලාංඡනය මගින් නිර්මාණශීලිත්වය, ධාර්මිකත්වය, නවීන දැනුම හා තාක්ෂණය ආදියෙන් යුක්ත සම්පූර්ණ සිසුවෙක් බිහි කිරීම ඉස්මතු කෙරේ. ගෙවීගිය 81 වසර පුරාවට අධ්‍යාපන, ක‍්‍රීඩා ඇතුළු සෑම ක්ෂේත‍්‍රයකින්ම විශිෂ්ටයන් රැසක් අප විදුහල් මාතාවගෙන් රටට බිහිවූහ. මෙම විදුහලෙන් බිහි වූ ප‍්‍රථම වෛද්‍ය ශිෂ්‍යයා එම්. ඞී. නාගරත්න මහතා වන අතර ප‍්‍රථම ඉංජිනේරුවරයා ඞී. එස්. දන්තනාරායන මහතා ය.

එසේම, 1997 වර්ෂයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ක‍්‍රීඩා පාසල බවට අප විද්‍යාලයට පත්විය. ජාතික මට්ටමින් මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද බොහෝ දක්ෂතා දක්වා වාර්තා රැසක් ඉතිහාසයට එක් කිරීමට රාජපක්‍ෂ දරුවන් සමත්වී ඇත. සෑම වර්ෂයක ම විශිෂ්ටතම විභාග ප‍්‍රතිඵල වාර්තා කරන රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය 2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම හත්වන ස්ථානයට ද, දකුණු පළාතෙන් දෙවන ස්ථානයට ද ප‍්‍රතිඵල වාර්තා කර ඇත.

රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරිය පුෂ්පා චන්ද්‍රානී වීරවර්ධනය. ඇය මෙම විදුහලට පත්වූ ප‍්‍රථම විදුහල්පතිනිය යි. වත්මන් නියෝජ්‍ය විදුහල්පතිතුමා ලෙස ආර්. පී. රැන්ටන් ද සිල්වා මහතා කටයුතු කරයි. වර්තමානයේ අප විදුහල ගුරු භවතුන් 160 කින් ද සිසුන් 5000 කට ආසන්න සංඛ්‍යාවකගෙන්ද සමන්විත වේ.

නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා සිහිපත් කිරීමට මෙවර විද්‍යාල භූමිය තුළ පිළිරුවක් ස්ථාපිත කිරීමද විශේෂ කරුණකි. පාසල් ආරම්භ වීමෙන් පසුව 81 වන සංවත්සරය මුල් කොට ගෙන නව බුදු මැඳුර හා කන්නන්ගර පිළිරුව විවෘත කිරීමට නියමිත ය.

අභිමානවත් 81 වසරක් සම්පූර්ණ කළ රාජපක්ෂ මැදි විදුහල් මාතාව තව බොහෝකල් දිනේවා..!!

චිරං ජයතු!

සුගීෂ්වර බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment