විදුහල්පතිවරයා නිරුවත් කර පහරදී ලක්‍ෂ දෙකක භාණ්ඩත් කොල්ලකාලා – ටියුෂන් දෙන්න ගිහින් සැකකරුගේ බිරිඳ සමග අනියම් පෙමක පැටලිලා

2031

* සිද්ධිය වීඩියෝ කළ සැකකරු අනුරපුරේ ප‍්‍රධාන පාසලක ගුරුවරියකගේ සැමියෙක්

අනුරාධපුර නගරයට යාබද පාසලක විදුහල්පතිවරයකු පාළු නිවසකට රැගෙන ගොස් නිරුවත් කර පහර දී තුවාල සිදුකර එම සිදුවීම් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කරමින්, ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න භාණ්ඩ පැහැරගත් අනුරාධපුර නගරයේ ප‍්‍රධාන පාසලක ගුරුවරියකගේ සැමියෙකු පෙරේදා (22 ද) අත්අඩංගුවට ගත් බවත්, පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් අනුරාධපුර පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයා සැකකරුගේ දරුවෙකු හට ශිෂ්‍යත්ව අමතර පන්ති පවත්වා ඇති අතර එහිදී සැකකරුගේ බිරිඳ වන ගුරුවරිය සමග පේ‍්‍රම සබඳතාවක්ද පවත්වා ගෙන ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

අනුරාධපුර ජල සම්පාදන මණ්ඩලයට අනුයුක්තව සේවයේ නියුතු ගුරුවරියගේ සැමියා විසින් මෙම විදුහල්පතිවරයාහට කීප වතාවක්, මෙම සබඳතාව නතර කරන ලෙස දැනුම් දුන්නද, එය නතර නොකිරීම හේතුවෙන් මෙසේ පහරදුන් බව සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව ගුරුවරියගේ සැමියා ඔහුගේ වැඩිමහල් සොහොයුරා සමග එක්ව, අදාළ විදුහල්පතිවරයා අනුරාධපුර තුන්වැනි පියවර ප‍්‍රදේශයේ නිවසකට කැඳවා පහරදී, සැකකරුවන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිගරට්වලින් පුළුස්සා, විදුහල්පතිවරයා නිරුවත් කර ජංගම දුරකථන මඟින් වීඩියෝ ගතකර ඇති බවද පොලිසිය පවසයි. පහර දීමෙන් අනතුරුව සැකකරුවන් විසින් විදුහල්පතිවරයා සතුව තිබූ රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක් වටිනා මුදු දෙකක්, හතළිස්පන්දහසක් වටිනා ජංගම දුරකථනයක් සහ දහතුන් දහසක් වටිනා අත් ඔර්ලෝසුවක් පැහැරගෙන ඇති බවටද පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.

පැය 3 කට ආසන්න කාලයක් පහර දීමෙන් අනතුරුව සැකකරුවන් විසින් විදුහල්පතිවරයා පැමිණි මෝටර් රථයෙන්ම පිටත්කර යවා ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විදුහල්පතිවරයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි. ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරන ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට සම්බන්ධ ඔහුගේ වැඩිමහල් සොයුරා ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.

අනුරාධපුර මූලස්ථාන ප‍්‍ර.පො.ප. ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment