විදෙස්ගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගන්න අයැදුම්පත්‍රයක්

480

විදේශගත ශ්‍රමිකයන් නීත්‍යනුකූලව බැංකු හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙක්ටි්‍රක් වාහනයක්  ගෙන්වීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සඳහා වන අයැදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

 කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපිනයන් ඔස්සේ අදාළ අයැදුම්පත්‍රය භාගත කරගත හැකිය.

 නීත්‍යනුකූලව බැංකු හරහා මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා සහන රැසක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටයුතු කර ඇති අතර, විදේශගත ශ්‍රමිකයන්ට ඉලෙක්ටි්‍රක් වාහනයක් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණි. ඒ අනුව ඉලෙක්ටි්‍රක් වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයැදුම්පත්‍රය නිකුත් කළේය.

 ඒ අනුව මේ වසරේ මැයි පළමුවැනිදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් තුන්දහසකට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයන් සඳහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක වටිනාකමකින් යුත් ඉලෙක්ටි්‍රක් යතුරුපැදියක් ආනයනය කිරීමට අවසර ලබාදෙනු ඇත. මේ වසරේ මැයි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලය තුළදී ඇමරිකානු ඩොලර් විසිදහසක මුදලක් එවා ඇති ශ්‍රමිකයන් සඳහා ඉලෙක්ටි්‍රක් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන බව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

 නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයන් සඳහා ගුවන්තොටුපළේදී ලබාගත හැකි තීරුබදු සහනය ඇමරිකානු ඩොලර් 6550 දක්වා ඉහළ නැංවීමටත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment