විදෙස්ගත ශ්‍රමිකයන්ට සියලු පහසුකම් දෙන්න කටුනායක ගුවන්තොටට ‘හෝප් ගේට්’ එයි

249

විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේදී ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙමින්, විදේශගත ශ්‍රමිකයන් සඳහාම වෙන්වූ විශේෂ පිවිසුම් ද්වාරය, HOPE GATE නමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් පෙරේදා (01 වැනිදා) උදෑසන විවෘත කෙරිණි

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළෙන් විදේශ රටකට පිටත්ව යන ශ්‍රමිකයාට මෙන්ම විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් සඳහා මෙම නව පිවිසුම් ද්වාරය විවෘත වේ. ඒ අනුව ගුවන්තොටුපොළේදී විදේශගත ශ්‍රමිකයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට නියමිත අතර, ඒ සදහා සහාය ලබාදීමට විශේෂ සත්කාරක සේවා සැපයීමේ කණ්ඩායමක්ද යොදවා තිබේ.

හෝප් ගේට් හරහා ඉදිරියේදී විදේශගත ශ්‍රමිකයින් සඳහා වෙන්වූ විශේෂ විවේක පහසුකම් ලබාගැනීමේ ස්ථානයක්ද ගුවන්තොටුපොලේ ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

මුදල් හෝ බලය ඇති පිරිසට ගුවන් තොටේදී ලැබෙන වීඅයිපී පහසුකම විගමනික ශ්‍රමිකයන්ටත් ඒ ලෙසින්ම ලබා දෙන බවත්, HOPE GATE යනු විදෙස්ගත වන ශ්‍රමිකයා පිටවන හෝ පැමිණෙන දොරටුව පමණක් නොව රටේ අනාගතයම ගොඩනැගීමේ බලාපොරොත්තුවේ ස්වර්ණමය ද්වාරය බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

විදෙස්ගත ශ්‍රමිකයන්ට සියලු පහසුකම් දෙන්න කටුනායක ගුවන්තොටට ‘හෝප් ගේට්’ එයි

එහි දී මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

“පුංචි පිරිසක් එකතු වෙලා ලොකු අවදානමක් එක්ක මේ රට භාර ගනිද්දී අපිට තිබුණේ පුංචි බලාපොරාත්තුවක් විතරයි. ඒ කොහොම හරි මේ රට ගොඩනඟනවා කියන අපේක්ෂාව. දරුණු ආර්ථික අර්බුදයකින් අරාජික වෙලා තිබුණු රටට අපි බලාපොරොත්තුවක් දුන්නා. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාස හතළිස් අටක කාලයකට ඩොලර් බිලියන 2.9ක් ලබා දෙන්න කාර්ය මණ්ඩල එකඟතාවට ඇවිත් තියෙනවා. රටේ අනාගතයට පුංචි කොළ එළියක බලාපොරොත්තුවක් දැල්විලා තියෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක යන මහත්වරුද විගමනික ශ්‍රමිකයෝද එක්ව සිටියහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment