විදෙස් රටවලින් ගෙන්වා ගත් කල් ඉකුත්වූ ඖෂධ දින වෙනස් කර බෙදා හැරලා

209

* නැදිමාල සුඛෝපභෝගී  දෙමහල් නිවසේ වසර 07ක් ජාවාරම සිදු කරලා

* ජාවාරම්කරු දැලේ

එස්.ඞී. අබේසිංහ – මහරගම රත්මලාන පින්සිරි ආරියරත්න

දෙහිවල පොලිස් වසමේ නැදිමාල, රබර්වත්ත පාර ප‍්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව හා සූක්ෂම ලෙස පවත්වාගන යනු ලැබූ විදෙස් රටවලින් හා මෙරටින් ලබාගත් ලද කල් ඉකුත්වීමට ආසන්න හා කල් ඉකුත් වූ ඖෂධ නීති විරෝධි ලෙස නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඖෂධ බෙදාහැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක් දෙහිවල පොලිසිය හා බස්නාහිර පළාත් බුද්ධි ඒකකය සමග ජාතික ඖෂධ නියාමක අධිකාරි නිලධාරීන් එක්ව පසුගිය(12) දින වටලා කල් ඉකුත්වූ ඖෂධ විශාල තොගයක් සමග ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත ලියනගේ මහතාට දැනුම්දීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදුකළ පරීක්ෂාවේදී සුඛෝපභෝගී දෙමහල් නිවසේ කාමර කීපයකම පෙට්ටිවල අසුරා ගබඩාකර තිබූ කල්ඉකුත්ව ඇති ඖෂධ වර්ග මෙන්ම පෙති වර්ග තොගයක් සොයා ගැනීමට හැකි වූ බවද ඖෂධ නියාමන අධිකාරිය පැවසීය. අත්අඩංගුවට පත්වූ සැකකරු (51) වැනි වියේ පසුවන නෙළුම් මාවත, අත්තිඩිය ලිපිනයෙහි පදිංචිකරුවෙක් වන බවත් වසර 07 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ කුලී පදනම මත ලබාගත් නිවස තුළ මෙම ජාවාරම සිදු කර ඇති බවත් විදෙස් රටවලින් ආනයනය කරන බෙහෙත් ද්‍රව්‍ය බෙදාහැරීමේ ගබඩා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම වංචනික ක‍්‍රියාව සිදුකර ඇති බවත් පොලිසිය පවසයි. ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය නිමල් ජයසිරි මහතාගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් කල් ඉකුත් වූ සියලූම ඖෂධ තොග ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන ඒවා විනාශ කිරීමට කටයුතු කරනු ලබන බවත් කල් ඉකුත් වූ ඖෂධ වර්ග බෙදා හැර ඇති ඖෂධ හල් හා ස්ථාන සොයා වැඩිදුර පරීක්ෂණයක් සිදුකරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේප‍්‍රධාන ආහාර හා සෞඛ්‍ය පරීක්ෂක වැටලීම් හා නීතිය බල ගැන්වීමේ ඒකකයේ අංශ ප‍්‍රධානී අමිත් පෙරේරා මහතා පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment