විදෙස් රැකියා අවස්ථාවන් වැඩිකිරීමට නාවික ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලා වැඩි කරන්න

184
  • නාවික හා ගුවන් සේවා ඇමැතිගෙන් බලධාරීන්ට උපදෙස්

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා වැඩි වශයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නාවික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

නාවික විශ්වවිද්‍යාල සහ ආයතන බලධාරීන් සමග ඉකුත් 21 වැනිදා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාවේදි ශ්‍රී ලංකාවේ නාවිකයන් ප්‍රමාණය සහ රැකියා අවස්ථාවන් වැඩිකිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ඒ අනුව නුපුහුණු නාවිකයන් පුහුණු කිරීමට වරායේ ටග් යාත්‍රාවල සේවයෙහි යෙදවීම, විදේශීය තානාපති කාර්යාල සමග සාකච්ඡාකොට විදේශීය නෞකාවල රැකියා හා පුහුණු අවස්ථා ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය නැව් සමාගම් මගින් රැකියා හා පුහුණු අවස්ථා ලබාගැනීම, මෙරටට පැමිණෙන විදේශීය නෞකා සඳහා දිරි දීමනා ලබාදෙමින් ඒවා තුළ නාවිකයන් පුහුණු කිරීම, පෞද්ගලික විශ්වවිද්‍යාල හා ආයතන මගින් පුහුණුව අවසන් කළ අයට ප්‍රවීනතා සහතික කඩිනමින් ලබාදීම වැනි ප්‍රධාන කරුණු කීපයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කරන ලදී.

පිලිපීනය වැනි රටවල තරුණ ශ්‍රම බලකායෙන් 10% ක් පමණ නාවික ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටින බවත්, ඔවුන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට උපයා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, නැව් සංස්ථාවේ සභාපති ඩබ්. එස්. වීරමන්, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment