විදෙස් විනිමය ගෙන්වා ගන්න නව ක‍්‍රමයක්

318

විදේශ විනිමය ශී‍්‍ර ලංකාවට වැඩියෙන් ගෙන්වා ගැනීම පහසු කිරීම සඳහා එස් එල් රෙමිට් SL Remit නමින් නව ක‍්‍රමවේදයක් යෝජනා කර තිබේ.

අඩු පිරිවැයක් සහිතව ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය ගෙන්වා ගැනීමේ ක‍්‍රමවේද අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව මෙය යෝජනා කර ඇත.

මේ ගැන කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව මෙසේ ද පවසයි.

විදේශ පේ‍්‍රෂණ ප‍්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම අවිධිමත් ක‍්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් ශී‍්‍ර ලංකා මහ බැංකුව, නව පේ‍්‍රෂණ ක‍්‍රමවේද අධ්‍යනය කරමින් ශී‍්‍ර ලංකාවට අඩු පිරිවැයක් සහිතව විදේශ පේ‍්‍රෂණ එවීමේ ක‍්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකාරී කමිටුවක් පත් කරනු ලැබීය.

මෙම කි‍්‍රයාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාටා, මොබිටෙල් (පුද්ගලික) සමාගම සහ ශී‍්‍ර ලංකා මහ බැංකුවෙහි පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

කි‍්‍රයාකාරී කමිටුව විසින් ශී‍්‍ර ලංකාවට වැඩි පේ‍්‍රෂණ ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා (SL Remit) නමින් ජාතික පේ‍්‍රෂණ ජංගම යෙදුමක් කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කර ඇති අතර මෙහි ස්වයං පරිශීලක ලියාපදිංචිය, ගෝලීය මුදල් හුවමාරු කි‍්‍රයාකරුවන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම, ශී‍්‍ර ලංකාව තුළ ඕනෑම බැංකු ගිණුමකට, ජංගම පසුම්බියකට ක්ෂණිකව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළත්ව තිබේ. මෙයට අමතරව ආකර්ෂණීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම, අඩු ගනුදෙනු ගාස්තු සහිත වීම සහ ඍජු බිල්පත් ගෙවීමේ පහසුකම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක්ද මෙම යෙදුමට ඇතුළත් වේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුව, මෙම (SL Remit) ජංගම යෙදුම මුදල් අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ශී‍්‍ර ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම වැනි පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව කි‍්‍රයාත්මක කරනු ලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment