විදෙස් ශ‍්‍රමිකයන් එවන මුදල් ගිය මාසයේ ඩොලර් මිලියන 300 කින් අඩුවෙලා – මහ බැංකු අධිපති

239

විදෙස්ගත ශ‍්‍රමිකයන් මෙරටට නිල මාර්ගවලින් එවන මුදල් ප‍්‍රමාණය පසුගිය මාසයේදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කින් පමණ අඩුවීමක් සිදුව ඇති බව පෙනී ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පෙරේදා (04 දා* මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රැුකියා සඳහා විදෙස්ගත වන ප‍්‍රමාණය අඩුවීමට අමතරව මේ සඳහා නිල නොවන මාර්ගවලින් කෙරෙන ගනුදෙනු හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ ගැන ඉතාම සුපරික්‍ෂාකාරීව මහ බැංකුව විසින් සොයා බලන බවත් කබ්රාල් මහතා කීවේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් වෙන රටවලදී එකතු කරනවා නම් ඒ සඳහා රුපියල් කෝටි 7200 ක මුදලක් මේ රටේ බෙදාහැරීමට අවශ්‍ය බව ද එම ගනුදෙනු කරන ගිණුම් මූල්‍ය බුද්ධි ඒකකය හරහා තහනම් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට හැකි වී ඇති බව ද මහබැංකු අධිපතිවරයා පවසයි.

මේ නිල නොවන මාර්ගවලින් කරන ගනුදෙනු නීති විරෝධී ගනුදෙනු ලෙස සලකන බව ද එවැනි ගනුදෙනු ගැන මූල්‍ය බුද්ධි ඒකකය පොලිසියත් සමඟ එකතු වී පරීක්‍ෂාකර බලා පියවර ගන්නා බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මේ නිසා සියලූම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ට නිල මාර්ගවලින් පමණක් මෙරටට මුදල් එවන ලෙස තමා ඉල්ලා සිටින බවද, එසේ නැතිව නිල නොවන මාර්ගවලින් මුදල් එවා ඇත්නම් ඒ මුදල් බැරවන ගිණුම් පරීක්‍ෂා කිරීමේදී ඒ අයටත් ප‍්‍රශ්න මතුවිය හැකි බව ද මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment