විදෙස් සංචිත ඩොලර් බිලියන 3.1 ට නගී

230

මෑත කාලීනව සිදු වූ විදේශ මුදල් ලැබීම් සමඟ රටේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම දැනට සාකච්ඡා කරමින් තිබෙන අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම් ද 2022 වසරේ ජනවාරි මස ආරම්භයේදී ලැබෙනු ඇති බව ද මහ බැංකුව කියයි.

විදේශ මුදල් ලැබෙන බව සහතික වී තිබියදීත් ඇතැම් ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් හදිසි තීරණ හේතුවෙන් ශ‍්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ද්විතීයික වෙළෙඳපළ ආයෝජකයන්ට අනවශ්‍ය පාඩු සිදු වී ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ ගැන කරුණු පැහැදිලි කරන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේද පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වසරේ දෙසැම්බර් මස 22 වන දින ප‍්‍රකාශයට පත් කළ පරිදි අපේක්‍ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින අතර, මෑත කාලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට එ. ජ. ඩොලර් බිලියන 3.1 ක් පමණ දක්වා ළඟා වී ඇති බව සහ 2021 වසර අවසන් වන විට ද එම මට්ටමේ ම පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. මීට අමතරව, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි, දැනට සාකච්ඡුා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම්, 2022 වසරේ ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සඳහා දිරි දීමනා ක‍්‍රම හඳුන්වාදීම සහ අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීමේ හා පරිවර්තනය කිරීමේ නීති රීති වැනි දේශීය වෙළෙඳපොළෙහි විදේශීය මුදල් ද්‍රවශීලතාව ඉහළ දැමීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග නිල විදේශ සංචිත තවදුරටත්

ගොඩනැගීමට උපකාරී වනු ඇත. සංචාරක ක්‍ෂේත‍්‍රයේ අපේක්‍ෂිත යථා තත්ත්වයට පත්වීම සහ අපනයනවල ශක්තිමත් ක‍්‍රියාකාරීත්වය සමගින්, විදේශීය අංශය තවදුරටත් ශක්තිමත්වනු ඇත. ඒ අනුව 2022 වසර පුරාවටම විදේශ සංචිත තත්ත්වය හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජයෙහි සහ මහ බැංකුවෙහි විශ්වාසය වේ.

මෙවැනි පසුබිමක් තුළ විදේශ මුදල් ලැබීම් පැහැදිලිවම ලැබෙනු ඇති බව සහතික වී තිබියදීත්, ඇතැම් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් හදිසි තීරණ හේතුවෙන් ශ‍්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ද්විතීයික වෙළෙඳපොළ ආයෝජකයන්හට අනවශ්‍ය පාඩු සිදුවී ඇත. එවැනි ශ්‍රේණිගත කිරීම් ක‍්‍රියාවන් ආයෝජකයන්ගේ විශ්වාසය කෙරෙහි සෘණාත්මකව බලපා ඇති අතර, එවැනි අනවශ්‍ය හා ප‍්‍රශ්නකාරී ක‍්‍රියාවන් සිදු නොවුනේ නම්, ලැබීමට තිබූ ඇතැම් අපේක්‍ෂිත විදේශ මුදල් අනවශ්‍ය ප‍්‍රමාදයකින් තොරව මීට පෙර වුවද ලැබීමට ඉඩ තිබුණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment