විදේශගත ශ‍්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය අගමැති ප‍්‍රධානත්වයෙන් එළිදැක්වේ

119

ශ‍්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා වූ ජාතික විද්‍යා පදනම මුල්කරගත් විදේශගත ශ‍්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21දා) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී එළිදැක්විණි.

විදේශගත ශ‍්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය අගමැති ප‍්‍රධානත්වයෙන් එළිදැක්වේ

විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාතික සංවර්ධනයට දායක කර ගැනීම උදෙසා ජාතික විද්‍යා පදනම මඟින් මෙම නවමු මං පෙත හඳුන්වා දී තිබේ. ලොව පුරා සිටින ශ‍්‍රී ලාංකිකයන් 950 කට අධික පිරිසක් මෙම ජාලය හා දැනට සම්බන්ධ වී සිටිති.

 මෙරට සංවර්ධනයට දායකවීම සඳහා උනන්දුවක් දක්වන ශාස්ත‍්‍රීය, පර්යේෂණ හා සංවර්ධන ආයතන හා කර්මාන්ත අංශයේ ඉහළ තනතුරු දරන විදෙස්ගත ශ‍්‍රී ලාංකික කීර්තිමත් විද්‍යාඥයින් හා වෘත්තිකයින් සඳහා විශ්වසනීය හා ප‍්‍රායෝගික යාන්ත‍්‍රණයක අවශ්‍යතාව ඉටුකිරීම මෙහි ප‍්‍රධාන අරමුණකි.

 උසස් අධ්‍යාපනය හා එහි ධාරිතාවය වර්ධනය උදෙසා වැඩි අවස්ථාව ලබා දීම, අධ්‍යාපන සහයෝගීතාව හා පර්යේෂණ සහයෝගීතාව ඉහළ නැංවීම ඇතුළු පුළුල් අරමුණක් යටතේ ජාතික විද්‍යා පදනම සහ ශ‍්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම ද මෙහි දී සිදුවිය.

 විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ (අමෙරිකාව), මහාචාර්ය ඩිලන්ත ප‍්‍රනාන්දු (කැනඩාව), මහාචාර්ය මොන්ටි කාසිම් (ජපානය), මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් (ස්විස්ටර්ලන්තය), මහාචාර්ය ඩිලන්ති අමරතුංග (එක්සත් රාජධානිය), මහාචාර්ය සමන් හල්ගමුගේ (ඔස්ටේ‍්‍රලියාව) මහත්ම මහත්මීහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම උත්සවය ආමන්ත‍්‍රණය කළහ.

 විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න මහත්වරු ඇතුළු ජාතික විද්‍යා පදනමේ සාමාජික සාමාජිකාවෝ සහ ශ‍්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ ප‍්‍රධානී සැන්ඩ‍්‍රා ද සොයිසා මෙනවිය ඇතුළු එම සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment