විදේශයෙන් ලැබුණු තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරක් කර ගැනීමට නොහැකි වුණා – හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන

211

අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව එල්ල වනතුරුත් එවැනි ප‍්‍රහාර මාලාවක් එල්ල විය හැකි බවට නිශ්චිත බුද්ධි තොරතුරක් තමන් එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාට ලබාදී නොතිබූ බව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානි මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (29දා) කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ඒ වනවිට විදේශ ගතවී සිටි එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හෝ අගමැතිවරයාට හා රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියට එය බුද්ධි තොරතුරක් ලෙසින් ලබාදීමක් සිදුනොකළ බවද නිලන්ත ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා සහ අධිකරණය විසින් නගන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. එකී ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් 2019.04.04 වැනිදා විදේශ මූලාශ‍්‍ර මාර්ගයෙන් ලැබුණු තොරතුර 2019.04.21 වැනිදා ප‍්‍රහාර එල්ල වනතුරුත් නිශ්චිත බුද්ධි තොරතුරක් බවට පත්කර ගැනීමට නොහැකිවූ බවත් විත්තියේ නීතිඥවරයා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළ සාක්‍ෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපට අවශ්‍ය වෙලාවට ඒ තොරතුරු බුද්ධි තොරතුරු බවට පත්කර ගැනීමේ හැකියාවක් නොමැති බවද ප‍්‍රකාශ කළේය.

විදේශ මූලාශ‍්‍ර මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු නොලැබුණේ නම් රාජ්‍ය බුද්ධි අංශය ඒ වනවිටත් සිටිනුයේ විමර්ශන මට්ටමේ නොවන්නේ දැයි එහිදී විත්තියේ නීතිඥවරයා සාක්‍ෂිකාර හිටපු රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයාගෙන් විමසා සිටි අතර තම බුද්ධි අංශය විදේශ තොරතුරු ලැබෙනතුරු නොසිටි බවත් සහරාන් හෂිම් ප‍්‍රමුඛ ආගමික අන්තවාදීන් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශවලට තමන් ලිඛිතව දැනු්ම්දී තිබූ බවත් සාක්‍ෂිකරු ප‍්‍රකාශ කළේය.

කෙසේ නමුත් යම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරක් පමණක් ප‍්‍රමාණවත් නොවන බවද අධීකරණය හුමවේදී පිළිගත් සාක්‍ෂිකරු තමන්ට හැකියාව ඇත්තේ තොරතුරු ලබාදීමට පමණක් බවද ප‍්‍රකාශ කළේය.

එතරම් වැදගත් තොරතුරක් රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට දැනුම්දීමට උත්සාහ කළේදැයි එහිදී සාක්‍ෂිකරුගෙන් විමසා සිටි විත්තියේ නීතිඥවරයා අනෙක් පොලිස්පතිවරයා ඇතුළු පුද්ගලයන්ට මෙන් එකී තොරතුර කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ජනාධිපතිවරයාට යැවීමට උත්සාහ නොකළේදැයි සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේය.

ඒ බව පැවසීමට ජනපති නිල නිවසේ කාර්ය මණ්ඩලය හරහා ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එතුමා ජංගම දුරකථනයක් භාවිත නොකරන නිසා එම උත්සාහය සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ බවද සාක්‍ෂිකරු ප‍්‍රකාශ කළේය. තමන් වැනි නිලධාරියකුට අනෙක් අයට මෙන් එතුමාට කෙටි පිණිවිඩ යැවීමේ හැකියාවක් නොතිබූ බවද සාක්‍ෂිකරු එහිදී ප‍්‍රකාශ කළ අතර ජනාධිපති ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් තමා දුරකථන මගින් දැනුම්වත් නොකළ බවද සාක්‍ෂිකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

නීතිඥ එරන්ති අබේනායක මහත්මියගේ උපදෙස් මත නීතිඥ ප‍්‍රියංක ගුණරත්න, දුෂාන් මිරිහාන, ජයන්ත තිලකරන්න හා නීතිඥ නිර්මාල් කොඩිතුවක්කු යන මහත්වරුන් සම`ග ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා විත්තිකරු වෙනුවෙන් පෙනීසිටියේය.

රජයේ අධිනීතිඥ හංස අබේරත්න, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දමිතිනි ද සිල්වා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්ම මහත්මීන් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවිය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment